මානසික සෞඛ්‍ය සේවාව ව්‍යාප්ත කිරීමට සුව ඇමැති සැරසෙයි

(කොළඹ, ලංකාපුවත්) – ව්‍යවහාරික මනෝ විද්‍යාව පිළිබද ජාත්‍යන්තර සමුලුව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (25) ආරම්භ විය. රටවල් 15 ක නියෝජිතයින් මෙම සමුලුවට එක්ව සිටිති.

සමාරම්භක සමුලුවේ දී අදහස් පළ කළ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යවරයා –

“මානසික රෝගවලට තුඩු දෙන ගැටලු පිළිබද තීන්දු තීරණ ගන්නා මෙම සමුලුව ඉතාම වැදගත්. ඇතැම් මානසික ප්‍රශ්න ඖෂධ වලින් සුවපත් කිරිමට අවකාශයක් නැහැ. මානසික ක්‍රියාවලියකින් සුවපත් කරන්නත් බැහැ. දිවයින පුරා දිස්ත්‍රික්ක වලට මානසික විශේෂඥ වෛද්‍යවරුන් 25 ක් පත් කිරීමට අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ සදහා මානසික සෞඛ්‍ය පිළිබද සියලුම වෛද්‍යවරුන් ඒකරාශී වී සිටීම ඉතාම වැදගත්.

වසර 30 ක් පුරා පැවැති යුද්ධය සුනාම් ඛේදවාචකය හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් දැඩි මානසික පීඩනයන්ට ලක් වුනා. මනුෂ්‍ය ඝාතන දැකීමෙන් ජනතාව පීඩනයට පත් වුනා. එම නිසා මානසික ගැටලු විසදා ගැනීම ජාතියක් වශයෙන් ඉතාම වැදගත්. මානසික සෞඛ්‍ය සේවාව ශ්‍රී ලංකාවට ඉතාම වැදගත් ක්ෂේත්‍රයක් බව මම ප්‍රකාශ කරනවා. දියුණු ලෝකය තුල මානසික ප්‍රශ්ණ සහ මානසික අසහනය මෙන්ම මානසික ආසාධාරණත්වය ද දැකිය හැකියි. ශ්‍රී ලංකාව තුල මානසික අසාධාරණත්වය, දේශපාලනය සහ සංස්කෘතිය තුලින් ද දැකිය හැකි වෙනවාත තරුණ පරපුර විරැකියාව හේතුවෙන් මානසික ප්‍රශ්ණ වලට මුහුණ දී සිටීම ද තවත් ගැටලුවක්.”

මෙම අවස්ථාවට සුප්‍රකට අමෙරිකානු මනෝවිද්‍යාඥ මහාචාර්ය මාර්ටින් සෙලිග්මන්ගේ මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *