ක්‍රිකට් නායකත්වය: උපුල් තරංග වෙනුවට චාමර කපුගෙදර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකා එක් දින ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය සඳහා දැනට උප නායක වශයෙන් කටයුතු කරන චාමර කපුගෙදර පත් කර තිබේ.

ඒ එක් දින කණ්ඩායමේ නිත්‍ය නායක උපුල් තරංගට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මගින් තරග දෙකක ක්‍රීඩා තහනමක් පැනවීමට පියවර ගනු ලැබීමත් සමගය.

එවැනි තත්ත්වයක් යටතේ ඉදිරි තරග දෙක සඳහා කණ්ඩායමේ නායකත්වයට චාමර කපුගෙදර පත් කිරීමට පියවර ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සාමාජිකයෙකු බීබීසී සිංහල සේවය වෙත පැවසීය.

මේ අතර ආබාධිත තත්ත්වයක් හේතුවෙන් ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඉදිරි තරග සඳහා ක්‍රීඩා නොකරනු ඇති බවත් ඒ හේතුවෙන් ලහිරු තිරිමාන්න සහ දිනේෂ් චන්දිමාල් යන ක්‍රීඩකයන් කණ්ඩායමට කැඳවීමට තීරණය කර ඇති බවත් ඉහත කී තේරීම් කමිටුවේ සාමාජිකයා වැඩිදුරටත් සඳහන් කළේය.

උපුල් තරංගට එරෙහිව තරග තහනමක් පැනවීමට පියවර ගනු ලැබ ඇත්තේ බ්‍රහස්පතින්දා (24) පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී ඉන්දියාව සමග පැවති දෙවන එක් දින ක්‍රිකට් තරගයේ දී නියමිත කාලය තුළ ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දුවාර සංඛ්‍යාව යැවීමට අපොහොසත් වීම හේතුවෙනි.

මින් පෙර එංගලන්තයේ පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලියේදී ද නියමිත කාලය තුළ පන්දු වාර සංඛ්‍යාව නොයැවීම හේතුවෙන් උපුල් තරංගට මෙලෙසම තරග දෙකක ක්‍රීඩා තහනමක් පැනවිණි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තෙවන එක් දින තරගය ලබන 27 වෙනිදා පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත අතර මෙතෙක් පැවති තරග දෙකෙන්ම ඉන්දියාව ජය ලබා ඇත.

බ්‍රහස්පතින්දා පැවති තරගයේ දී ඉන්දියාව ඉදිරියේ ශ්‍රී ලංකාව පරාජයට පත් වූ නමුත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ අකිල ධනංජය ලකුණු 54 ට ඉන්දීය කණ්ඩායමේ කඩුලු 6 බිඳ හෙලීමට සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *