නාවික හමුදා මාධ්‍ය පුටුව වෙනස් වෙයි

(කොළඹ, ලංකාපුවත්) – නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කටයුතු කරන ලද ලුතිනන් කොමාණ්ඩර් (මාලිමා) චමින්ද වළාකුළුගේ මහතා නව පත්වීම් ලැබ මාරුවී යාමට නියමිත බැවින්, නව නාවික හමුදා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරී වශයෙන් කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා අද(25) සිට පත් කොට ඇත.

කොමාණ්ඩර් (අවි) ලංකානාථ දිසානායක මහතා මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදි සිසුවෙකු වන අතර, 1997 වසරේ දී 27 වන ශිෂ්‍යභට නිලධාරි බඳවා ගැනීමට අයත් විධායක අංශයේ නිලධාරියෙකු වශයෙන් නාවික හමුදාවට එක් වී තිබේ. එම බඳවා ගැනීමට අයත් නිලධාරීන් අතරින් දක්ෂතම මධ්‍ය නිලධාරියට හිමි අසිපත ද දිනා ගනිමින් 1999 වසරේ අධිකාරියට පත් වූ ඔහු, එතැන් සිට වසර 18 කට ආසන්න කාලයක් විවිධ තනතුරු හොබවා ඇති රණ ශූරයෙකු ලෙස නාවික හමුදා ඉතිහාසයට එක් වී ඇත.

විශේෂයෙන්ම, පසුගිය මෙහෙයුම් සමයේ වසර ගණනාවක් මුළුල්ලේ වේග ප්‍රහාරක යාත්‍රා වලට අණ දුන් හෙතෙම එහිදී දක්වන ලද දක්ෂතා හේතුවෙන් සිව් වතාවක් රණශූර පදක්කමකින් පිදුම් ලබා ඇත.

කොමාණ්ඩර් දිසානායක මහතා, බංගලාදේශයේ ඉෂා ඛාන් නාවික විද්‍යාපීඨයේ උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව හදාරා ඇති අතර, ඉන්දියාවේ දෝන චර්යා නාවික පුහුණු ආයතනයේ අවි පිළිබඳ දීර්ඝ පාඨමාලාවත්, ඉන්දුනීසියාවේ දී ආරක්ෂක මාණ්ඩලික පාඨමාලාවත් සාර්ථකව නිම කොට ඇත. එමෙන්ම, ඔහු සෝදිසි, මෙහෙයුම් හා ගලවා ගැනීම් සම්බන්ධයෙන් වන විශේෂ පාඨමාලාව හදාරා නිම කොට ඇත්තේ සිංග්ප්පූරුවෙන් වන අතර, හෙතෙම ආරක්ෂක යුදෝපක්‍රම පිළිබඳ විද්‍යාපති උපාධිධාරියෙකු ද වේ.

ඔහු මාධ්‍ය සම්බන්ධීකරන නිලධාරී ලෙස පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා නාවික හමුදාව සතු වේග ප්‍රහාරක මිසයිල නෞකාවක් වන ශ්‍රී ලංකා නාවික නෞකා සුරනිමිල නෞකාවේ විධායක නිලධාරි ලෙස රාජකාරි කරන ලදී. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරි (සමුද්‍රීය ආවේක්ෂණ), පුහුණු විධායක, මාණ්ඩලික නිලධාරි මෙන්ම වේග ප්‍රහාරක යාත්‍රා ගණනාවකම අණභාර නිලධාරි ලෙස ද රාජකාරී කොට ඇත.

කොමාණ්ඩර් දිසානායක මහතා‍ගේ දයාබර බිරිඳ අසංකා වන අතර දියණිය සිනලී (12) වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *