ඉන්දියාව ජය හඹා යද්දී පිටියට බෝතල් ප්‍රහාර

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී ඊයේ (27 වැනිදා) පැවැති තුන්වැනි එක්දින තරගය නිමා වීමට ඕවර කිහිපයක් තිබියදී නරඹන්නන්ගේ අසංවර හැසිරීම හේතුවෙන් තරගය අතර මග නතර කිරීමට සිදුවිය.

අනතුරුව කැරළි මර්ධන පොලිසිය සහ සෙසු පොලිස් නිලධාරීන් පැමිණ එක පෙදෙසක නරඹන්නන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමෙන් අනතුරුව ආරම්භ කළ තරගය කඩුලු 6 කින් ජයගැනීමට ඉන්දියාව සමත් වූයේය.

ඉන්දීය පිල ලකුණු 218 ක ඉලක්කයක් හඹා යද්දී තරගයේ 44 වැනි ඕවරය අවසානයේදී නරඹන්නන්ගේ බාධා කිරීම නිසා තරගය අතරමග නතර කරන විට ඉන්දීය පිල කඩුලු 4 කට ලකුණු 210 ක් ලබා සිටියේය.

විනාඩි 20 ක පමණ කාලයක් විනිසුරුවරුන් සහ ක්‍රීඩකයන් පිටිය මැදට වී බලා සිටියත් තත්ත්වය පාලනය නොවූ හෙයින් තරගය අතර මග නවතා ක්‍රීඩකයෝ සහ විනිසුරුවරු ආපසු ක්‍රීඩාගාරයට ගියහ.

තරගය නැවතත් ආරම්භ කිරීමෙන් පසුව ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූ ලකුණු 8 පන්දු හතකදී ලබාගත් ඉන්දියානු කණ්ඩායම ලබාගත් මෙම ජයත් සමගින් තරග 5 කින් සමන්විත තරගාවලියත් ජයගැනීමට ඉන්දීය පිල සමත් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *