“කොළඹ ආරක්‍ෂක සමුළුව – 2017” අද සහ හෙට

(කොළඹ, ලංකාපුවත්) – “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම, ගෝලීය ප්‍රවණතා” (‘Countering Violent Extremism, Global Trends’) මැයෙන් මෙවර හත්වැනි වරටත් සංවිධානය වන “කොළඹ ආරක්‍ෂක සමුළුව – 2017” (7th ‘Colombo Defence Seminar – 2017) අද( 28) සහ හෙට (29) දෙදින තුළ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතය.

ඒ අනුව මෙවර සමුළුව ආරක්‍ෂක ක්ෂේත්‍රය නියෝජනය කරන විදෙස් නියෝජිතයින් 200 ක් ඇතුළු නියෝජිතයින් 800 දෙනෙකු සහභාග වීමට නියමිත අතර ඒ සඳහා මෙවර සැම්බියාවේ යුද හමුදාපතිවරයාට සහ සාක් රටවල හමුදා ප්‍රධානීන්ට ද ආරාධනා කර ඇත. එමෙන්ම ක්ෂේත්‍රයට අදාළ විදේශීය විද්වතුන් 15 ක් සහ දේශීය විද්වතුන් 12 ක් සමුළුව ඇමතීමට නියමිතව ඇත.

දෙදින සමුළුව තුළ සැසිවාර ගණනාවක් ඔස්සේ “අන්තවාදි ප්‍රචණ්ඩත්වය සැප්තැම්බර් 11 ප්‍රහාරයේ සිට අයිඑස්අයිඑස් සංවිධානයේ උපත”, “ගෝලීය ප්‍රචණ්ඩ අන්තවාදය”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිවීම”, “ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව ආරක්‍ෂක හමුදාවන්හි කාර්යභාරය”, “අභියෝග සහ ගැටලු – පෙරදිග සහ අපරදිග ජාතීන්ගේ දැක්ම”, “කලාපීය සංවිධානවල කාර්ය භාරයයන්” “ලෝක පාලනයේ බලපෑම්”, “නෛතික බලපෑම්”, “බුද්ධි හා සයිබර් අභියෝගතා සහ උපාය මාර්ග”, “ආරක්‍ෂක හමුදාවන්හි කාර්ය හා හමුදා සිවිල් සබඳතා”, “එක්සත් ජාතින්ගේ උපක්‍රම”, “අභ්‍යන්තර ආරක්‍ෂාව පිළිබඳ උපායමාර්ගික අධ්‍යයනය”, “රාජ්‍ය ත්‍රාන්තික සබඳතා සහ අන්තවාදි ප්‍රචණ්ඩත්වයට එරෙහිවීම”, “ලෝක පාලනයේ දී යුද්ධ හමුදා කාර්යභාරය”, “ප්‍රති අන්ත්‍රවාදි ප්‍රචණ්ඩත්වයේ දී ප්‍රජාව සවිබලගැන්වීම” යන මාතෘකා උපතේමාවන් යටතේ සාකච්ඡා කිරීමට නියමිතය.

තවද ගෝලීය ආරක්‍ෂාවට ඇති තර්ජන පිළිබඳව පුළුල් කතිකාවතක් ගෝලීය සහ කලාපිය රාජ්‍යවල විද්වතුන් රැසකගේ අවධානයට යොමුකිරීමට මෙන්ම වත්මන් ලෝකයේ අන්තවාදය තුළින් මතුවන ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම සඳහා භාවිතා කළ හැකි සාමුහික යාන්ත්‍රණයක් හා ජාතීන් අතර ඇති වන අරගලවලට මූලිකවන හේතු පිළිබඳව විද්වත් අදහස් හුවමාරුවක් ඇතිකිරීම ද මෙම කොළඹ ආරක්‍ෂක සමුළුව – 2017’ සංවිධානය කිරීමේ අරමුණු අතර වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *