ක්‍රීඩා ලෝලීන්ගේ හැසිරීම කැතයි – අමාත්‍ය දයාසිරි

(කොළඹ, ලංකාපුවත්) – ඉන්දු ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගය අතරතුර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන්ගේ හැසිරීම ඉතා පිළිකුල් සහගත බවත් මෙවැනි පහත් ක්‍රියාවල නිරත වෙමින් ක්‍රිකට්‌ ක්‍රීඩාව මෙන්ම රටේ කීර්ති නාමය ද විනාශ කිරීම ද්‍රෝහිකමක් බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ශ්‍රී ලංකා කණ්‌ඩායමේ ක්‍රීඩකයන් ඉලක්‌ක කර ක්‍රීඩා ලෝලීන් විසින් ගල් මුල් වතුර බෝතල් ප්‍රහාර එල්ල කිරීම පිළිබඳව අදහස් පළ කරමින් දයාසිරි ජයසේකර මහතා මේ බව කියා සිටියේය

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ දයාසිරි ජයසේකර මහතා මෙසේද කීය.

“ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එකදිගට පැරදිච්ච මුල් අවස්‌ථාව මේක නෙවෙයි. මීට පෙරත් මේ වගේ බිඳවැටීම් සිද්ධවෙලා තියෙනවා. ශ්‍රී ලංකාව විතරක්‌ නොවෙයි දකුණු අප්‍රිකාව, බටහිර ඉන්දීය කොදෙව් වගේ රටවලුත් මේ විදිහට පරාජය වෙමින් තියෙනවා.

මේක ශ්‍රී ලංකා ක්‍රිකට්‌වලට නරක කාලයක්‌. මේ වගේ අවස්‌ථාවල ක්‍රීඩාලෝලීන් බොහොම බුද්ධිමත්ව ඉවසිලිවන්තව කටයුතු කරන්න ඕනෑ. එහෙම නැතිව අපේ ක්‍රීඩකයන්ට ගල්, මුල් ප්‍රහාර එල්ල කරලා ඔවුන්ට බැණ වැදීමෙන් ඒ ක්‍රීඩකයන් තවත් මානසිකව ඇදවැටෙනවා.

පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී ක්‍රීඩාලෝලීන් හැසිරුණු ආකාරය කොහෙත්ම අනුමත කරන්න බැහැ.

මේ වෙනකොට අපේ දක්‍ෂ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයො රැසක්‌ ම විවිධ ආබාධයන්ට ලක්‌වී සිටිනවා. ඒ වගේම දැනට ක්‍රීඩා කරන ක්‍රීඩකයනුත් හොඳින් තරග කරන්නේ නැහැ.

මේ තත්ත්වයෙන් අපි ගොඩ එන ආකාරය ගැන හිටපු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් සමඟ මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ක්‍රීඩාලෝලීන්ගේ අදහස්‌ ගන්නත් බලාපොරොත්තු වෙනවා. අපි කොහොම හරි මේ වැටිලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න ඕනෑ. මේ වෙලාවෙ ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලයටත් තේරීම් කමිටුවටත් බැණලා වැඩක්‌ නැහැ. අපේ ඉන්න හොඳම කණ්‌ඩායම තමයි ඉදිරිපත් කරලා ඉන්නේ.”

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

12 − eleven =