නියගයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙළ ජනපතිගේ අධීක්ෂණයට

(කොළඹ, ලංකාපුවත්) – දිවයිනේ ප්‍රදේශ ගණනාවකට බලපා ඇති වියළි කාලගුණයෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා රජය ගෙනයන වැඩසටහන්වල ප්‍රගතිය සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

නියං තත්ත්වය හේතුවෙන් ආර්ථික අපහසුතාවයන්ට ලක්ව ඇති ගොවිබිම් ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර සලාකය ලබාදීමේ කටයුතු මේ වන විට විධිමත් අයුරින් ක්‍රියාවට නංවා තිබෙන අතර එම කටයුතු ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ ජනාධිපතිවරයා කරුණු විමසා තිබේ.

එමෙන්ම පානීය ජල පහසුකම් සැපයීම පිළිබඳ කරුණු විමසා සිටි ජනාධිපතිවරයා එම කටයුතු තවදුරටත් කාර්යක්ෂම කිරීම සඳහා ජල බවුසර් සියයක් මිලදී ගැනීමට නිලධාරීන්ට උපදෙස් ලබාදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

නියඟයෙන් පීඩාවට පත් ජනතාවට සැළසීමේ කටයුතු අධීක්ෂණය සඳහා ජනාධිපතිවරයා විසින් ත්‍රිවිධ හමුදා නිලධාරීන් යොදවා තිබෙන අතර අදාළ වැඩසටහන් පිළිබඳව ඔවුන්ගේ දායකත්වය ද මෙහිදී සමාලෝචනයට ලක් කෙරුණි.

කාලගුණික සහ දේශගුණික විපර්යාස හමුවේ ඉදිරියේ දී ඇති විය හැකි දැඩි නියං තත්ත්වයන්ට මුහුණදීමට සූදානම් වීමේ වැදගත්කම පෙන්වාදුන් ජනාධිපතිවරයා අදාළ පාර්යේෂණ කටයුතු වල නිරත වෙමින් දීර්ඝ කාලීන සැලසුම් ඔස්සේ එම කටයුතු ජයගත යුතු බව ද සඳහන් කළේය.

අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, අනුර පි්‍රයදර්ශන යාපා, මංගල සමරවීර, ෆයිසර් මුස්තාෆා යන මහත්වරුන් ද ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ඇතුථ අමාත්‍යාංශ ලේකම්වරුන් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =