ලොව දෙවන උසම කඳු මුදුන තරණය කරන සිසුදරුවන්ට ජනපතිගෙන් සුබ පැතුම්

(කොළඹ, ලංකාපුවත්) – ලොව දෙවන උසම කන්ද ලෙසින් සැලකෙන K2 කඳු සිරස තරණය කිරීමට සහභාගි වන මහනුවර ධර්මරාජ විදුහල් බාලදක්ෂ කණ්ඩායම වෙත මූල්‍ය ප‍්‍රදානයන් පිරිනැමීම අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදුවිය.

පකිස්ථානයේ උතුරු පළාතේ පිහිටා ඇති ලොව දෙවන විශාලතම කන්ද තරණය කිරීමට ශ‍්‍රී ලාංකික බාලදක්ෂ කණ්ඩායමක් ඉදිරිපත් වන පළමු අවස්ථාව මෙය වන අතර මෙම දුෂ්කර කර්තව්‍යය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් රුපියල් ලක්ෂ 10ක මූල්‍ය පරිත්‍යාගයක් සිදුකෙරිණි.

ශ‍්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම අගෝස්තු මස 31 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිත අතර K2 කන්ද තරණය කිරීම සඳහා දින 21ක් පමණ ගත වේ.

මෙවැනි අභියෝගයන් ජය ගනිමින් ශ‍්‍රී ලාංකීය අභිමානය ලොවට ගෙනයාමට වෙර දරන දරුවන්ට ජනාධිපතිතුමා විසින් ලබාදෙන ධෛර්යය සහ ශක්තිය පිළිබඳව මෙහිදී අගය කෙරිණි.

එමෙන්ම K2 කන්ද තරණය කිරීමෙන් පසු කඳු සිරසේ ස්ථාපිත කිරීම සඳහා ජනාධිපතිතුමා අතින් ශ‍්‍රී ලංකා ධජයක් ද බාලදක්ෂ කණ්ඩායම වෙත පිරිනැමුණි.

මෙම අවස්ථාවට මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, මධ්‍යම පළාත් ක‍්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, ශ‍්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ නියෝජ්‍ය කොමසාරිස් ජේ. ප‍්‍රනාන්දු මහත්වරුන් ඇතුළු මහනුවර ධර්මරාජ විදුහලේ නියෝජ්‍ය විදුහල්පති ජගත් කරුණාරත්න සහ බාලදක්ෂ කණ්ඩායම් භාර ආචාර්ය අනිල් පෙරේරා මහත්වරුන් ද එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *