ශ්‍රී ලංකවේ හමුදාව ලෝකයටම ආදර්ශයක් බව අමෙරිකාව කියයි

(කොළඹ, ලංකාපුවත්) – යුධ සමයේ මෙන්ම ඉන් අනතුරුව ද ශ්‍රී ලංකාවේ නැගී සිටීම සම්බන්ධයෙන් හමුදාවේ කාර්යභාරය ලෝකයටම අපූරු ආදර්ශයක් බව අමෙරිකා එක්සත් ජනපදයේ විශ්‍රාමික අද්මිරාල් විලියම් ජේ ෆැලෝන් මහතා පවසයි.

කොළඹ ආරක්ෂක සමුළුවට ඊයේ(28) එක්වෙමින් ඒ මහතා මේබව කියා සිටියේය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සමුළුව ආරම්භ කෙරුණි.

කොළඹ ආරක්ෂක සමුළුවේ සමාරම්භක උත්සවය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වුණා.

ප්‍රචණ්ඩ අන්තවාදය පිටුදැකීම, ගෝලීය ප්‍රවණතා යන්න මෙවර සමුළුවේ තේමාවයි. ශ්‍රී ලංකා යුද හමුදාව ගෝලීය හා කලාපීය ආරක්ෂක ගැටලු පිළිබද කථිකාවක් ඇති කිරීම සදහා 2010 වසරේදී මෙම සමුළුව ආරම්භ කරන ලදි. සැසිවාර 9ක් ඔස්සේ පැවැත්වෙන සමුළුව අද(29) දිනයෙන් අවසන්වේ.

රාජ්‍ය පාලනය හා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වෙමින් අනපේක්ෂිතව සහ සංවිධානාත්මකව සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන අන්තවාදී ප්‍රචණ්ඩත්වය සහ නූතන ආරක්ෂක ගැටලු ආදිය පිළිබද මෙහිදී අවධානය යොමු කෙරේ. රටවල් තිස්පහක ආරක්ෂක දූත නිලධාරීන් සහ හමුදා නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ අමෙරිකා එක්සත් ජනපදයේ විශ්‍රාමික අද්මිරාල් විලියම් ජේ ෆැලෝන් මහතා,

“වසර ගණනාවක සිවිල් යුද්ධයක් පැවති රටක් ලෙස ශ්‍රි ලංකාව පෙරටත් වඩා වර්තමානයේ බොහෝ වෙනස්කම්වලට ලක්වෙලා තියෙනවා. ශ්‍රී ලංකා හමුදාවේ අප්‍රතිහත ධෛර්ය නිසා ලංකාව ඒකීය රාජ්‍යයක් බවට පත්කරන්න හැකියාව ලැබී තිබෙනවා. විශේෂයෙන්ම යුද හමුදාවේ වෘත්තීමය භාවය ඉතා ඉහළයි. ඒ හරහා සමාජ , සංස්කෘතික , ආර්ථික ආදී සියලු අංශවල දියුණුවක් ඇති කිරීමට හැකිව තිබෙනවා. මෙය ලෝකයටම අපූරු ආදර්ශයක්.”

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ද මෙහිදි අදහස් පළකළේය.

“ශ්‍රී ලංකා හමුදාව සතුව පවතින සියලුම යුදමය සහ ආරක්ෂක ක්‍රමවේදයන් ආසියාව හා කලාපයේ සෙසු රටවල් සමග බෙදා ගැනීමට මේ තුළින් හැකියාව ලැබී තිබෙනවා. අපි බලාපොරොත්තු වන්නේ ආරක්ෂාව සම්බන්ධයෙන් කලාපීය සහයෝගීතාව ගොඩනැගීමයි. ප්‍රමුඛ පෙළේ දේශීය මෙන්ම විදේශීය උගතුන් ඔවුන්ගේ දැනුම අප සමග බෙදා ගැනීමට සමුළුව සදහා එක්වී සිටිනවා. මේ සදහා ජනාධිපතිතුමාගේ සහ ආරක්ෂක ලේකම්වරයාගේ මග පෙන්වීම ද අපට ලැබුණා.”

ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු , ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න, ඉන්දීය හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරී විශ්‍රාමික ජෙනරාල් අශෝක් මේතා යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *