කවුරු ආණ්ඩුවෙන් ගියත් 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව ගෙන යනවා – ජනපති

(කොළඹ, ලංකාපුවත්) – කවුරුන් ආණ්ඩුව හැර ගියද තමා වසර 2020 වන තෙක් සම්මුතිවාදී ආණ්ඩුව පවත්වා ගෙන යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

සම්මුතිවාදී ආණ්ඩුව 2020 වන තෙක් පවත්වාගෙන යෑමට තමාට ශක්තිය ඇති බවට විශ්වාස කරන බවත් එසේ නොහැකි බව පවසන්නේ නම් එය කුමන්ත්‍රණයකින් පමණක් සිදු කළ හැකි බවත් ජනාධිපතිතුමා සදහන් කළේය.

අද(29) උදෑසන කොටුව, ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන්, පුවත්පත් සහ විද්‍යුත් මාධ්‍ය අධ්‍යක්ෂවරුන් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපතිතුමා මේ බව කියා සිටියේය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා පවසා සිටියේ 2015 වසරේ දී තමන් බලයට පත් වන විට ආර්ථික හා අන්තර්ජාතික වශයෙන් ශ්‍රී ලංකාව බරපතළ සහ සෝචනීය තත්ත්වයකට පත්ව තිබු බවයි.

එම ප්‍රශ්නවලට විසඳුම් නොමැතිවීම හේතුවෙන් එවකට සිටි දේශපාලන නායකයින් වසර දෙකකට පෙර ආණ්ඩුව විසුරුවාහැරීමට කටයුතු කළ බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය සඳහන් කළේය.

තමා බලයට පත්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර බලපෑම් හමුවේ ප්‍රජාතන්ත්‍රවාදීව රට පාලනය කරමින් රටේ ස්වාධීන්තවයට බලපෑම් ඇති නොවන ලෙස කටයුතු කළ බව පැවසූ ජනාධිපතිතුමා, මේ හේතුවෙන් විදුලි පුටුව සහ යුද අධිකරණය වැනි ගැටළුවලට විසඳුම් ලබාදීමට හැකියාව ලැබුණු බවද පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත් වන විට මෙරටට ආර්ථික සම්බාධක පැනවීමේ අවදානමක් ද තිබු බව සඳහන් කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනවාරි 08වනදා ප්‍රතිඵලය වෙනස් වුයේ නම් ශ්‍රී ලංකාව මේ වන විට කුමන ස්ථානයක පවතීන්නේ ද යන්න සම්බන්ධයෙන් බොහෝ දෙනාගේ හෘද සාක්ෂිය නොදන්නා බවද සදහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයින් අතීතයේ මුහුණදුන් ඇතැම් අභියෝගවලට වර්තමානය වන විට තමා ද මුහුණදෙන බවත් එම නායකයින් අභියෝගවලට මුහුණදුන් ආකාරය පිළිබද අත්දැකීම් සැළකිල්ලට ගෙන තමන් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කටයුතු සිදුකරන බවත් ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =