මැණික් හා ස්වර්ණභරණ ක්ෂේත්‍රයේ දියුණුවට ගත හැකි සියලු පියවර ගන්නවා – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – මැණික් හා ස්වර්ණභරණ ක්‍ෂේත්‍රයේ දියුණුවට ගත හැකි සියලු පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ෆැසෙට්ස් 2017 ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවය අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ ප්‍රදර්ශනය පැවැත්වේ.

එහිදී අදහස් දැක් වු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා,

“ගාල්ල ප්‍රදේශයේ සංචාරය කරන, වැඩි ආදායම් සහිත සංචාරකයන් වෙනුවෙන් කලාප තුනක් අප ඉදිකිරීමට කටයුතු කරමින් සිටිනවා.

ඒ වගේම මෙම මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වුණේ ගාල්ලේ ද, බේරුවල ද යන්න පිළිබඳව රටේ කතාබහක් තිබෙනවා. මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය පළමුවෙන් ආරම්භ වූයේ ගාල්ලේ බව එම ජනතාව පැවසුවත්, බේරුවල ප්‍රදේශවාසීන් එය තම ප්‍රදේශයෙන් ආරම්භ වූ කර්මාන්තයක් බව පවසනවා. නමුත් මෙම විවාදයට අපි මැදිහත් විය යුතු නැහැ.

කෙසේ හෝ මෙම කර්මාන්තය තවත් දියුණු කළ යුතුයි. මෙම කර්මාන්තයේ නියැළෙන බොහෝ දෙනෙක් මැඩගස්කරය වැනි රටවල් වෙත ගොස් මැණික් ගෙනෙනවා. එමෙන්ම ශ්‍රී ලංකාවේ මැණික් සහ පතල් කර්මාන්තය ද දියුණු කළ යුතු වෙනවා. එහි වගකීම පරිසර අධිකාරියටත්, භූ විද්යා හා පතල් කැණිම් කාර්යාංශයටත්, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියටත් පැවරෙනවා. මේ සියල්ල හරහා අපට දැනට ලැබෙන විදේශ ආදායම තුන් ගුණයක් දක්වා වැඩි කර ගත යුතුයි. එමඟින් මේ රටේ ණය බර අපේ ජීවිත කාලය තුළදී ගෙවා දැමීමට හැකි වේවි. ඒ ණය බර අනාගත පරම්පරාවට උරුම කර දිය නොහැකියි. එපමණක් නොව, තවත් රැකියා අවස්ථා බිහි කිරීම සඳහාත් අප කටයුතු කළ යුතුයි.” යනුවෙන් ද පැවසීය.

මෙම ප්‍රදර්ශනය සඳහා දේශීය හා ජාත්‍යන්තර ප්‍රදර්ශනකරුවන් තම නිෂ්පාදන ඉදිරිපත් කර තිබේ. ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 03 වන ඉරිදා දක්වා පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනය 1991 වසරේ සිට පවත්වන අතර මෙවර පැවැත්වෙන්නේ 27 වරට ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

sixteen + thirteen =