විලියම් සහ හැරී ඩයනා කුමරියගේ සිහිවීම බලන්න

(කොළඹ, ලංකාපුවත්) – බ්‍රිතාන්‍යය රජ පවුලේ වඩාත් කතාබහට ලක් වූ ‘වේල්සයේ රෝස කුසුම’ යන විරුදාවලිය ලත් ඩයනා කුමරිය සිය ජීවිතයෙන් සමුගෙන අදට(31) වසර 20ක් සපිරේ.

විලියම් කුමරු සහ හැරී කුමරු ඔවුන්ගේ මවගේ 20 වන අනුස්මරණ සංවත්සරය සැමරීම සදහා ලන්ඩනයේ පිහිටි ඩයනා කුමරියගේ ස්මාරක උද්‍යානයට ඊයේ(30)ගොස් ඇත.

මීට 20 වසරකට ඉහතදී සිදුවූ මෝටර් රථ අනතුරකින් ජීවිතක්ෂයට පත් ඩයනා කුමරිය වෙනුවෙන් කෙන්සිංටන් මාලිගයේ ධවල උද්‍යානය නැතහොත් “The White Garden” ස්මාරක උද්‍යානය ඇයව සිහිවීම පිණිස විසිවසරක් පුරාවටම රෝපණය කරන ලදී.
කේම්බ්රිජ් හි ආදිපාදවරිය වන කෙට් කුමරිය ද විලියම් සහ හැරී කුමරුන් සමග මෙම උද්‍යාන සංචාරයට එක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ.

“ඩයනා කුමරියගේ ජීවිතය සහ ඇයගේ සේවය මෙනෙහි කිරීමට, ස්මරණය කිරීමට සහ ඇයට උපහාර දැක්වීම සදහා විලියම් සහ හැරී කුමරුන් හට මේම උත්සවය අවස්ථාවක් වූ බව, කෙන්සිංටන් මාලිගයේ ප්‍රකාශිකාවක් බීබීසී පුවත් සේවයට අදහස් දක්වමින් සදහන් කර තිබේ.

ඩයනා කුමරියගේ අභාවය පිළිබඳ සංවත්සරය සැමරීම සඳහා පොදු ජනතාව කෙන්සිංටන් මාලිගයේ දොරටු අසල මලින් පුරවා උපහාර දක්වා ඇත.

1997 අගෝස්තු 31 වන දින පැරිසියේ දී මෝටර් රථ අනතුරකින් වේල්ස්හි කුමරිය, ඩයනා මිය යන විට කේම්බ්රිජ් ආදිපාදවරයා වූ විලියම් කුමරු 15 වන වියේ ද හැරී කුමරු 12 වැනි වියේ පසු වුහ.

1961 ජුලි 01වනදා ඩයනා ෆ්‍රාන්සෙස් ස්පෙන්සර් කමින් උපත ලැබූ මේ සුන්දර කුමරිය, 1981 පෙබරවාර් 24වනදා බ්‍රිතාන්‍ය රජ පවුලේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සමග විවාහ විය. ජුලි 29වනදා පැවැති ඔවුන්ගේ විවාහ මංගල්‍යය එදා මෙදා තුර ලෝක ඉතිහාසයේ වැඩිම පිරිසකගේ අවදානය දිනා ගත් විවාහ මංගල්‍යය ලෙසින් ද සැලකේ. එය මිලියන 750ක රූපවාහිනී ප්‍රේක්‍ෂකයින් නරඹා තිබුණි.

1997 වසරේ සිදු වූ ඩයනා කුමරියගේ මරණයෙන් පසු ඇයව මිහිදන් කිරීමට තීරණය වූයේ ස්පෙන්සර් පවුලේ සුසාන භූමියෙයි. මෙය ස්පෙන්සර් පවුලේ අය ආ ගිය පල්ලිය ඇතුළේ හදලා තිබුණු ගර්භයකි.

එහෙත් පසුව ආරක්ෂක හේතු මත ඇයව මිහිදන් කෙරුණේ ඔල්තෝප් පාක් හිදී ය. ස්පෙන්සර් පවුලේ නිවස පිහිටා තිබුණු මේ බිම, ඕවල් විල මැද ඇති දූපතකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 + 17 =