තරගාවලියේ ජය ඉන්දියාව සතු කර ගනියි

(කොළඹ, ලංකාපුවත්) – සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරඟ 05කින් සමන්විත එක්දින තරඟාවලිය තරඟ 05ට බිංදුවක් ලෙස ජයගන්නට ඉන්දීය කණ්ඩායම ඊයේ(03) සමත් විය.

ඒ කොළඹ තරඟය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති අවසන් එක්දින තරඟය කඩුලු 06 කින් ජය ගැනීමෙන් අනතුරුවය.

තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක උපුල් තරංග පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 49යි පන්දු 04ක් තුළ සියලු දෙනා දැවී රැස්කළ ලකුණු සංඛ්‍යාව 238කි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් නායක උපුල් තරංග පන්දු 34කදී හතරේ පහර 09ක් සමඟින් වේගවත් ලකුණු 48ක් රැස් කළ අතර ළහිරු තිරිමාන්න ලකුණු 97ක් සහ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 55ක් රැස් කිරීමට සමත්වුණි.

පන්දු යැවීමේදී ඉන්දියානු කණ්ඩායම වෙනුවෙන් බුවනේශ්වර් කුමාර් කඩුලු 05ක් සහ ජස්ප්‍රිට් බුම්රා කඩුලු 02ක් බිඳ දැමු අතර ලකුණු 239ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 46යි පන්දු 03ක් තුළ එම සිමාව පසුකර ගියේය.‍

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් නායක විරාත් කෝලි නොදැවී ලකුණු 109 ක් රැස් කිරීමට සමත් වූ අතර මනිෂ් පාන්ඩේ ලකුණු 63යි.

ලසිත් මාලිංග, විශ්ව ප්‍රනාන්දු, මලින්ද පුෂ්ප කුමාර සහ වනිදු හසරංග අතරේ කඩුලු එක බැඟින් බෙදී ගියේය.

තරඟයේ වීරයා ඉන්දීය කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේශ්වර් කුමාර්, තරඟාවලියේ වීරයා ජස්ප්‍රිට් බුම්රා දිනා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *