බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් හෙළිවෙයි

(කොළඹ, ලංකාපුවත්) – බැඳුම්කර ගණුදෙනුවට සම්බන්ධ රහස්‍ය සහ මූල්‍යමය වශයෙන් සංවේදී අභ්‍යන්තර තොරතුරු අර්ජුන් ඇලෝසියස් මහතාට ලැබී ඇති බව පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ මුල් දුරකතන සංවාදවලින් අනාවරණය වී තිබේ.

එක් දුරකතන සංවාදයකින් අනාවරණය වී ඇත්තේ, සේවක අර්ථ සාධක අරමුදල සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව වෙන්දේසියේදී ලංසු තැබීමට සුදානම් වන ප්‍රමාණය සහ ප්‍රතිශතය ඇලෝසියස් මහතා කල් තියා දැන සිටි බව ය.

අර්ජුන් ඇලෝසියස් මහතා සහ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන විධායක කසුන් පාලිසේන මහතා අතර 2016 වසරේ මාර්තු 29 වන දා සිදුවූ දුරකතන සංවාදයෙන් රජයේ බැංකු සමග පැවති රැස්වීමකදී අඩු අනුපාතයන්ට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස උපදෙස් ලැබී ඇතැයි අනාවරණය වී තිබේ.

වෙළෙඳපොළේ පැවති අනුපාත ඉහළ අගයක තිබුණ ද, වෙන්දේසි දිනයේදී එවැනි ඉහළ අනුපාතයන් නොපවතින බව ඇලෝසියස් මහතා කල්තියා දැනුවත් වී තිබේ.

ඒ අනුව ඔහු ඉහළ අනුපාතයකට වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කරන ලෙස පාලිසේන මහතාට උපදෙස් දී ඇති බවත්, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වෙනුවෙන් ලංසු ඉදිරිපත් කිරීම සඳහා පෑන් ඒෂියා බැංකුව ද යොදාගෙන ඇතැයි මෙම දුරකතන සංවාදවලින් හෙළිව ඇත.

මෙම දුරකතන සංවාදයේදී අර්ජුන් ඇලෝසියස් මහතා පවසා ඇත්තේ, ප්‍රබල ස්ථානයක සිටින තමාගේ මිතුරන්ට අනුව වෙන්දේසියේදී පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩියෙන් ලංසු තැබුවොත් වැඩියෙන් ප්‍රතිලාභ ලබාගත හැකි බව ය.

මෙම කරුණු අනාවරණය වුණේ, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ප්‍රධාන ගැණුම්කරු නුවන් සල්ගාදු මහතා ජනාධිපති කොමිෂන් සභාව හමුවට ඉදිරිපත් කළ සමාගමේ පටිගත කළ සංස්කරණය නොවූ දුරකතන සංවාදවලිනි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

6 + 13 =