රජයේ අරමුණ රටම සමස්ත දියුණුවක් කරා ගෙන යාමයි- අගමැති

(කොළඹ, ලංකාපුවත්) – රජයේ වැඩසටහන අනුව මුළු රටම සමස්ත දියුණුවක් කරා ගෙන යාම අරමුණ වී තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා පැවසීය.

කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයේ පිහිටි නීතිඥ සංගම් කාර්යාලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍යරයා පසුගියදා මේ බව සඳහන් කළේය.

මහනුවර සංවර්ධන වැඩකටයුතු ආරම්භ කර තිබෙන අතර එම වැඩකටයුතු කුරුණෑගලට, හලාවතට, ගාල්ලට, මාතරට ආදී ප්‍රදේශවලට ව්‍යාප්ත වන බවත් ගාල්ල මාතර ප්‍රදේශයේ වැඩි ආදායම් සහිත සංචාරකයින් සඳහා කලාපයක් ඇති කරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. එම ප්‍රදේශය ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙකක් අතර පිහිටා තිබෙන අ ඉන් පසුව හම්බන්තොට මොණරාගල දක්වා වරායක් සහ කර්මාන්ත කලාප ඇති වන බව ද ඒ මහතා සඳහන් කළේය.

අද ඔබේ උසාවි සංකීර්ණයට අවශ්‍යව තිබූ නව බැංකු සහ තැපැල් ගොඩනැගිල්ල විවෘත කෙරුණා. ඒ සඳහා මට ආරාධනා කිරීම ගැන මම ස්තුති වන්ත වෙනවා. අද දිනයේ මම පසුගිය මැතිවරණ සමයේ දුන් පොරොන්දුවකට අනුව මෙම ප්‍රදේශයට නව පාසැලක් ඉදිකරදීම සදහා වන මුල්ගල තැබීමේ වැඩකටයුතු සිදු කරනවා. ඒ වගේම අනෙක් පාසලත් ඉදි කිරීමේ වැඩ කටයුතු අපි ඉදිරියේදී ආරම්භ කරනවා. අද උදෑසන මම දණ්ඩගමුව පුරාණ විහාරස්ථානයේ උත්සවයකටත් සහභාගි වුණා.

මෙම උසාවිය සමග මගේ තිබෙන සම්බන්ධතා හේතුවෙන් මම මේ ස්ථානයට පැමිණීමට ලැබුණු ආරාධනයත් පිළිගත්තා. අපේ පවුලේ පරම්පරා 7ක නීතිඥයන් සිටිනවා. මම අයත් වන්නේ 6 වන පරම්පරාවටයි. ඉන් පරම්පරා 4ක් නීතිඥ වැඩකටයුතු සිදු කළේ මෙම කුරුණෑගල උසාවියේයි. 1950 – 60 කාලයේ එම වැඩකටයුතු ආරම්භ වුණා. ඒ අපේ පරම්පරාවේ හුළුගල්ල පෙරකදෝරු මහතාගේ මූලිකත්වයෙන්. ඔහුගෙන් ආරම්භ වී පරම්පරා 4ක් නීතිඥ වැඩකටයුතු සිදු කළේ මෙම කුරුණෑගල උසාවියේයි. නමුත් එකල පිහිටා තිබුණේ මෙම උසාවි ගොඩනැගිල්ල නොවෙයි. පැරණි උසාවි සංකීර්ණයක් එකළ පිහිටා තිබුණා.
අතීතයේ පෙරකදෝරු වෘත්තියට ඇතුල් වුනේ ශ්‍රේෂ්ඨාධිකරණ පෙරකදෝරුවරයෙක් ලෙස නොවෙයි. ඒ සදහා අවශ්‍යතාවයක් එදා තිබුණේ නැහැ. එදා නීතිඥයින් ලෙස ඇතුල් වුනේ කුරුණෑගල දිස්ත්‍රික් උසාවියටයි.

සමස්ත වයඹපළාතටම අවශ්‍ය වැඩකටයුතු සිදු කෙරුණේ කුරුණෑගල දිස්ත්‍රික් උසාවිය හරහායි. කුරුණෑගලට පිටතින් එන නීතිඥ මහතුන්ට නඩු කොපි ලබලා දීලා ඒ අවශ්‍ය වැඩකටයුතු සාමාන්‍ය ලෙස එකළ සිදු කෙරුණා. ඇතැම් අවස්ථාවල මෙහි නීතිඥ මහතුන් නඩු සඳහා උසාවියේ පෙනි සිටියා.

නමුත් ඊටත් වඩා ලාභ ගැනීම කාර්ය වුනේ ඔප්පු ලිවීමයි. මෙම ප්‍රදේශයේ මිනිරන් පතල් ආරම්භ කලේ ඒ අවධියේයි. මෙල් මහතාගේ පතලට ආටිගල මහතාගේ කහටගහ පතල වැනි පතල් ගණනාවකට ඔප්පු ලිවීමේ කටයුතු එදා සිදු කෙරුණා. ඒවගේම අක්කර ලක්ෂ ගණනක් ඒ කාලයේ මෙම ප්‍රදේශයේ පොල් වගාව සඳහා යොදා ගත්තා. ඒ සඳහාත් ඔප්පු ලිවීම අත්‍යවශ්‍ය වුණා. කුරුණෑගල නගරයේ ඔප්පු ලිවීමත් ඒ කාලයේ සිදු වුණා. ඒ කාලයේ වැඩිපුරම ලාභදායී නීතිඥ වෘත්තිය වූයේ ඔප්පු ලිවීමයි. උසාවි වැඩකටයුතු සිදු කෙරුනේ ඊට අමතරවයි. නමුත් පසුව ඒ කටයුතු දියුණු වී ඉදිරියට පැමිණ තිබෙනවා.

වර්තමානයේ කුරුණෑගල දියුණුව දෙස බලන විට ඔප්පු ලිවීම අදත් ඉතා ලාභදායි බව පෙනී යනවා. අධිවේගි මාර්ගයේ වැඩකටයුතු අවසන් වීමෙන් පසුව කුරුණෑගල නගරයේ වටිනාකම තවත් ඉහල යනවා. මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර කොළඹ සිට මහනුවර දක්වා ඉදිවෙනවා. දෙවන අදියරේදී එය කුරුණෑගල දක්වා ඉදිවෙනවා. ඉන් පසුව ඔප්පු කොපමණ ප්‍රමාණයක් ලිවීමට හැකිවේදැයි අපේ නිතිඥ මහතුන් බලාසිටින බව මට පෙනෙනවා. ඒ වෙද්දී වටිනාකම දෙගුණයකින්, තුන්ගුණයකින් පමණ ඉහළ යනවා. මේ ප්‍රදේශයේ අනෙක් උසාවි සඳහාත් මේ තත්වය අදාල වෙනවා.
කුලියාපිටිය ප්‍රදේශයෙත් මේ ඇතිවන සංවර්ධනය හේතුවෙන් ඉඩකඩම්වල වටිනාකම ඉහළ යනවා. මේ ප්‍රදේශයේ ඉදිකිරීමට නියමිත කර්මාන්ත ශාලා පිළිබදව මම නිමල් බණ්ඩාර ඇමතිතුමා සහ මේ ස්ථානයේ සිටින අනෙක් ඇමතිතුමන්ලා සමග මේ වන විටත් සාකච්ඡා කර තිබෙනවා.

ඉදිරියේදී කර්මාන්තශාලා කීපයක් මේ ප්‍රදේශයේ ඉදි කිරීමට සූදානම් වෙනවා. මෝටර් රථ නිෂ්පාදනය කිරීමේ එක් කර්මාන්ත ශාලාවක් අප ආරම්භ කළා. එවැනි තවත් කර්මාන්ත ශාලාවක් අපි ආරම්භ කිරීමට සූදානම් වනවා.

ඒ වගේම බිංගිරිය, ඉරණවිල ආදී ප්‍රදේශවල කර්මාන්ත සහ සංචාරක කලාප ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වනවා.

ඒ අනුව මේ ප්‍රදේශයේ දියුණුව ඉදිරියේදී ඇති වනවා. බොහෝ කර්මාන්ත ශාලා මේ වන විට කොළඹින් දුර බැහැර ගම්පහට, වයඹ සත්කෝරළයට ආදි ප්‍රදේශවලට පැමිණෙමින් තිබෙනවා. එමනිසා ඉඩම් ඔප්පු ලිවීම තවමත් ඉතාමත් හොඳ වෘත්තියක් බව මට නොබියව කියන්න පුළුවන්.

ඔප්පුවල වටිනාකමක් නැත්නම් පාසැල් ආදිය ඉදිකිරීම සදහා අධ්‍යාපන ඇමතිතුමාට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් මුදල් ලබා දෙන්නේ කෙසේද? ඒ ආකාරයට අපි ආදායම් ඉහළ දැමීමත් සිදු කරගත යුතු වනවා.

අපේ රටේ දළ දේශීය නිෂ්පාදනය 10% දක්වා පහත වැටී තිබුණා. නමුත් මම 2014දී ආණ්ඩුව භාර දෙන විට රටේ දළ දේශීය නිෂ්පාදනය 17%ක් දක්වා වර්ධනය වී තිබුණා. දළ දේශීය නිෂ්පාදනය වැඩි කර ගන්නේ නැත්නම් අපිට ණය බරින් මිදීමට නොහැකි වනවා.

ඒ වගේම මෙම ප්‍රදේශයේ දියුණුවත් සමග තවත් විවිධ නඩු කටයුතු ඇති වෙනවා. අතීතයේ නොතිබුණු තරම් නඩු දැන් විශාල වශයෙන් උසාවියට ගෙන එනවා. වාණිජ නඩුත්, අපරාධ නඩුත් ඒ හා සමානයි.

ඉදිරියේදී මෙම ප්‍රදේශයට පැමිණෙන කර්මාන්තශාලාවල මූලස්ථානය කොළඹපිහිටා තිබුණත් එම කර්මාන්ත ශාලාවල වාණිජ නඩුවල වැඩකටයුතු සිදු වන්නේ මෙම උසාවියේ. එමනිසා ඉදිරියේදී නීතිඥ වෘත්තියේ එවැනි දියුණුවක් ඇති වනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමටත් අපි බලාපොරොත්තු වනවා.

සෑම අවස්ථාවකම අපිට කුරුණෑගල උසාවියත් සමග විශාල සම්බන්ධතා තිබෙනවා. නීතිඥයෙක් ලෙස 1972 – 73 කාලයේ මම මෙහි පැමිණෙන විට මෙහි සිටි අනෙක් නීතිඥවරුන්ද සම වෘත්තිය ආරම්භ කර තිබුණා. ඔවුන් මේ වන විට අවුරුදු 49ක් එම වෘත්තියේ කටයුතු කර තිබෙනවා.

කෙසේ හෝ කුරුණෑගල ඉතා හොඳ ප්‍රදේශයක් බව අවබෝධ කර ගත් බ්‍රිතාන්‍ය පාලකයින් මෙහි පාලන කටයුතු ආරම්භ කළා. ඔවුන් පැමිණීමට පෙර මෙහි වාණිජ නගරයක් පැවතුනේ නැහැ. බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව අප කෙතරම් විරුද්ධ අදහස් දැරුවත් මෙම ප්‍රදේශයේ කුරුණෑගල වාණිජ නගරය ඇතිකිරීම සම්බන්ධයෙන් ඔවුන්ට ස්තුතිවන්ත විය යුතුයි.
පළමුවෙන්ම දුම්රිය පැමිණියෙත් පොල්ගහවෙලටයි. අනුරාධපුර, ත්‍රිකුණාමලය, යාපනය, නුවර ආදි ප්‍රදේශවලට ගමන් කිරීමේ ප්‍රධාන මධ්‍යස්ථානය වූයේත් පොල්ගහවෙලයි. එදා බ්‍රිතාන්‍ය පාලකයින් එම ප්‍රධාන ප්‍රවාහන මධ්‍යස්ථානය ලෙස පොල්ගහවෙල යොදා ගනිමින් කුරුණෑගල වාණිජ නරගයක් ලෙස සංවර්ධනය කළා. ගාල්ල, මාතර අතීතයේ සිටම දියුණුව පැවතියා. නුවර පැවතුනේ කන්ද උඩරට අගනුවර ලෙසයි. නමුත් කුරුණෑගල බ්‍රිතාන්‍ය පාලකයින් සිතා මතා ඇතිකළ නගරයක්. එය ඉතා හොඳ තීරණයක්. එහි වාසිය අද අප ලබා ගන්නවා. බස්නාහිරට පසුව දකුණ සහ වයඹවිශාලම දියුණුවක් ලබන පලාත් ලෙස මට පෙනෙනවා.

අපේ වැඩසටහන අනුව මුළු රටම සමස්ථ දියුණුවක් කරා ගෙන යාමයි අරමුණ වී තිබෙන්නේ. අපි මහනුවර සංවර්ධන වැඩකටයුතු ආරම්භ කරනවා. එම වැඩකටයුතු කුරුණෑගලට, හලාවතට, ගාල්ලට, මාතරට ආදී ප්‍රදේශවලට ව්‍යාප්ත වෙනවා. ගාල්ල මාතර ප්‍රදේශයේ වැඩි ආදායම් සහිත සංචාරකයින් සඳහා කලාපයක් ඇති කරනවා. එම ප්‍රදේශය ජාත්‍යන්තර ගුවන්තොටුපල දෙකක් අතර පිහිටා තිබෙනවා. ඉන් පසුව හම්බන්තොට මොණරාගල දක්වා වරායක් සහ කර්මාන්ත කලාප ඇති වනවා.

එසේම මහනුවර සිට වැල්ලවාය දක්වා විශාල දියුණුවක් අප ඇති කර ගත යුතුයි. ඒ අනුව මෙම ප්‍රදේශයේ නීතිඥ වෘත්තියෙත් දියුණුවක් ඇති වේවි. හම්බන්තොට ප්‍රදේශයේ නව උසාවි සංකීර්ණයක් ඇති වේවි. ඒ අනුව නිතිඥයින්ට වැඩ වැඩිවීම හැර වෙනත් ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

එමනිසා කුරුණෑගල දියුණුවත් සමඟ ඔබේ දියුණුවත් ඇතිවේවා යැයි කුරුණෑගල නීතිඥ සංගමයට මම සුභ ප්‍රාර්ථනා කරනවා. ඔබට යම් ගැටළු ඇත්නම් අධිකරණ ඇමතිතුමියත්, නීතිඥ සංගමය සමගත් සාකච්ඡා කර විසදාගත යුතු වනවා. මේ වන විට නීතිඥ සංගමය කාරණා කිහිපයක් මා සමඟ සාකච්ඡා කර තිබෙනවා. ඒ හැර විශාල ගැටළු ඇති යැයි මම සිතන්නේ නැහැ. කුරුණෑගල නීතිඥ වෘත්තියේ යෙදුණ ඔබ සියලූ දෙනාට මම සුභ ප්‍රාර්ථනා කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

3 × two =