හැකි සෑම අයුරකින්ම ශී‍්‍ර ලංකාවට සහය දෙනවා – දකුණු කොරියාව

(කොළඹ, ලංකාපුවත්) – ශී‍්‍ර ලංකාවට හැකි සෑම අයුරකින්ම සහයෝගය ලබා දීමට සූදානම් බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කිම් යොන් හයූම් මහතා පවසයි.

තාක්‍ෂණය මෙන්ම සංස්කෘතිකමය වශයෙන් ශී‍්‍ර ලංකාව හා දකුණු කොරියාව අතර වඩාත් සමීප සබදතාවක් ගොඩ නැගී ඇති බව පෙන්වා දෙන කිම් යොන් හයූම් මහතා පෙන්වා දෙන්නේ මිත‍්‍රත්වය තුළින් දියුණුය කරා ගමන් කිරීම ඉතා වැදගත් කාරණය බවයි.

දකුණු කොරියාවේ සෝල් අගනුවරදී පැවැත්වෙන රාජ්‍ය කටුයුතු පිළිබඳ සමුළුවට සමගාමීව අද(06) පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව පැවසීය.

ශී‍්‍ර ලංකාව නියෝජනය කරමින් එම සමුළුවට සහභාගී වී සිටින්නේ වාරිමාර්ග හා ජල සම්පත් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතාය. ඔහු මෙම සමුළුවට සහභාගී වන්නේ කොරියානු පදනමේ ආරාධනයකට අනුවය.

බෙලරූස්,ඊශ‍්‍රායල්,ලිබියා,රුසියාව, ඕමාන්,පිලිපීනය,තුර්කිය,ස්පාඤ්ඤය ඇතුළු රටවල් 15 ක රාජ්‍ය නියෝජිතයින් මෙම සමුළුවට සහභාගී වී සිටිති. දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා හා අමාත්‍යවරයා අතර සාකච්ඡාව සෝල් නුවරදී පැවැත්විණ.

මෙම සමුළුවේදී විශේෂයෙන් අවධානයට ලක් කරන කාරණා කිහිපයකි. ජාත්‍යන්තර දේශපාලනය, රාජ්‍ය ආරක්‍ෂාව, උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළිවෙල හා ලෝකයේ ආරක්‍ෂාව, තාක්‍ෂණය, මිත‍්‍රත්වය සහ සංවර්ධනය යන කාරණා ඒ අතර ප‍්‍රධාන වේ.

මෙම සාකච්ඡාවේදී තවදුරටත් කරුණු දැක්වූ කිම් යොන් හයූම් මහතා පැවසූවේ ශී‍්‍ර ලංකාව සමග තවදුරටත් සබදතා වර්ධනය කර ගැනීම දකුණු කොරියාවේ අරමුණ බවයි. එමෙන්ම තාක්‍ෂණය සමග මෙන්ම සංස්කෘතිකමය වශයෙන්ද ඒ සදහා පියවර තැබිමට සූදානම් බවද ඔහු කියා සිටියේය.

මෙහිදී කරුණු දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ දකුණු කොරියාව ශී‍්‍ර ලංකාවට ලබා දෙන සහයෝගය නිරන්තරයෙන් අගය කරන බවයි. එමෙන්ම දෙරටේ මිත‍්‍රත්වය දීර්ඝකාලීනව පවතින්නක් බවත් එම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීම සඳහා ශී‍්‍ර ලංකාවද සූදානමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. සංස්කෘතික හා තාක්‍ෂණික වශයෙන් දෙරට අතර බැදීම් වර්ධනය කර ගැනීම ඉතා වැදගත් බවත් ඒ වෙනුවෙන් දෙරටේම විශේෂ මධ්‍යස්ථාන ඉදිකරමින් දෙරටේ ජනතාව සමීප කිරීම වඩාත් සුදුසු බවට වූ යෝජනාවක්ද ඇමතිවරයා විසින් ඉදිරිපත් කරන ලදී. එමෙන්ම උතුරු කොරියාව සමග පවතින මතභේදකාරී තත්ත්වය මිත‍්‍රත්වයෙන් විසදා ගැනීම ඉතා සුදුසු බවද උතුර දකුණ ලෙස වෙන් වුවද දෙරටේම ඇත්තේ එකම රුධිර ධාරාවන් නිසාවෙන් එවැනි කි‍්‍රයාදාමයකට පහසුවෙන් අවතීර්ණ විය හැකි බව ශී‍්‍ර ලංකාවේ විශ්වාසය යැයිද අමාත්‍යවරයා පැවසීය.

මේ අතර සමුළුවේදී අදහස් දැක්වූ දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් කිම් යොන් හයූම් මහතා කියා සිටියේ උතුරු කොරියාවේ න්‍යෂ්ඨික වැඩපිළවෙල මුළු මහත් ලෝකයටම බලවත් තර්ජනයක් බවට පත්ව ඇති බවයි. මෙම වාතාවරණය තුළ දකුණු කොරියානු රජය දැඩි කාර්ය බහුලත්වයකට පත්ව සිටින බවත් විශේෂයෙන් උතුරු කොරියාවේ කිසියම් හෝ තර්ජනයකට මුහුණ පෑමට සිදු වුවහොත් එය පුදුමයට කරුණක් නොවන බවත් ඔහු පෙන්වා දුන්නේය.

සමුළුවට සමගාමීව කොරියානු පදනමේ උප සභාපති ගුවන් කෙම් කිම් මහතා සමග ද සාකච්ඡා සිදු වූ අතර එම නියෝජිතයින් අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 3 =