ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ සේවාවන් ළඟදීම

(කොළඹ, ලංකාපුවත්) – ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතියේ (NSDI) සේවාවන් ඉදිරි සිව් මස තුළදී ජනතාවට ලබාගත හැකිවේ.

ඒ අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය (NSDI)තව දුරටත් සංවර්ධනය කිරීම සදහා මානව සම්පත සුදානම් කිරීම මේ වන විට ආරම්භ කර ඇත.

රාජ්‍ය ආයතනවලින් තෝරා ගන්නා ලද ක්ෂේත්‍ර නිලධාරින් තුන් සියයකට පමණ මේ වසර තුළදී මේ අනුව පුහුණුව ලබා දීමට නියමිතව ති‍බේ.

පළාත් පාලන අමාත්‍යංශය, ඉඩම් පරිහරණ ප්‍රතිපත්ති සැලසුම් දෙපාර්තමේන්තුව සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව යන ආයතනයන්හි ක්ෂේත්‍ර නිලධාරින් සඳහා මෙසේ පුහුණුව ලබා දෙන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය(ICTA) පවසයි.

මෙම පුහුණුව අදියර ‍දෙකක් යටතේ පැවැත්වෙන අතර ප්‍රථම අදියර යටතේ භූමිගත තොරතුරු කළමනාකරණ පරිගණක වැඩසටහන් හඳුන්වාදිම සහ දත්ත එක් රැස් කිරීම පිළිබඳව පුහුණුව ලබා දේ.
මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය විවිධ සිතියම් ස්ථර එකට එක්වී සෑදුනු අන්තර්ජාලීය සිතියම් පද්ධතියක් වන අතර එමගින් එය භාවිතා කරන්නන්ට සිතියම් නැරඹීම, සකස් කළ දත්ත ලබා ගැනීම සහ භූමිගත තොරතුරු ලබා ගැනිමේ හැකියාව ඇත.

අධ්‍යාපන, ප්‍රවාහන, සෞඛ්‍යය, කෘෂිකාර්මික, වාරිමාර්ග, ආපදා කළමනාකරණ, වනජීවී සහ වන සංරක්‍ෂණ, කාලගුණික හා දේශගුණික ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ආදී ප්‍රධාන අංශ 12 ක් මුල් කර ගනිමින් මෙම දත්ත සහ තොරතුරු පහසුකම් පද්ධතිය සකස් ‍කෙරේ.

ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සහ නිර්නායකයන්ට අනුව මෙම ජාතික භුමිගත දත්ත යටිතල පහසුකම් පද්ධතිය සකස් කෙරෙන බව ද නියෝජිතායතනය වැඩිදුරටත් පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *