කලුතර ජනතාවට ලුණු වතුරෙන් තොර පානීය ජලය ලබාදීමට ව්‍යාපෘතියක්

(කොළඹ, ලංකාපුවත්) –කළු ගඟට මුහුදු ජලය මිශ්‍ර වී ලවණ එකතුවීම වැළැක්වීම සදහා විධිමත් වැඩපිළිවෙලක් දියත් කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන කලුතර දිස්ත්‍රික්කයේ විශේෂ ව්‍යාපෘති පිළිබදව සාකච්ඡාවකට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

කළු ගඟට මුහුදු ජලය මුසුවීම නිසා කලුතර දිස්ත්‍රික්කයේ ජනතාව මාස 06 ක පමණ කාලයක් පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති. ඒ සදහා කලුතර වරකාගොඩ ප්‍රදේශයෙන් ජලය ලබාගෙන කෙන්හේන ජල පවිත්‍රාගාරයේ දී පිරිසිදු කිරිමට සැළසුම් කර ඇත. මේ සදහා වූ විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 21 දින කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

කලුතර දිස්ත්‍රික්කයේ කලුතර, බේරුවල, මතුගම, අගලවත්ත, මදුරාවල, දොඩම්ගොඩ යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවල ජනතාවට පානීය ජලය සැපයීම සදහා විශේෂ වැඩසටහනක් ද ආරම්භ කර ඇත.

වසර 03 කින් ව්‍යාපෘතිය අවසන් කිරීමට නියමිතය. මේ සදහා වැය කිරීමට නියමිත මුදල රුපියල් බිලියන 32 කි. වසර 2020 දී අවසන් කිරිමට නියමිත මම ව්‍යාපෘතිය මගින් පවුල් ලක්ෂ 05 කට පමණ පානීය ජලය සැපයීමට නියමිතය.

මෙම නව ව්‍යාපෘතිය යටතේ බේරුවල ආසනයේ ග්‍රාම නිලධාරී වසම් 82 ක ජනතාවට පානීය ජලය ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

පයාගල දහම්පානාගම ප්‍රදේශයේ සිට බේරුවල ජල පාරිභෝගිකයින්ට ජලය බෙදාහැරීමට කටයුතු යොදා ඇත. මෙම සාකච්ඡාවට ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි ඩී. යූ සුමනසේකර මහතා ඇතුලු නිලධාරීන් එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *