කියවීම දැනුමෙන්, ශික්ෂණයෙන් යුත් මිනිසෙක් ගොඩනගන බව ජනපති කියයි

(කොළඹ, ලංකාපුවත්) –කියවීම දැනුමෙන් මෙන්ම ශික්ෂණයෙන්යුත් මිනිසෙක් ගොඩනගන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ පාසල් සිසුන්ගේ කියවීමේ රුචිය වර්ධනය කිරීමේ අරමුණින් කි‍්‍රයාවට නංවා තිබෙන “කලණ මිතුරු – පොත් සුමිතුරු” වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (06) පෙරවරුවේ කොටුව ජනාධිපති මන්දිරයේදී එක්වෙමිනි.

ලබන මාසයට යෙදෙන ජාතික කියවීමේ මාසයට සමගාමීව ජනාධිපති කාර්යාලයේ සංවර්ධන හා විශේෂ ව්‍යාපෘති අංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව මෙම වැඩසටහන කි‍්‍රයාවට නංවා තිබෙන අතර, සමබර පෞරුෂයකින් හෙබි දරුවෙකු බිහිකිරීම සඳහා දැනුමෙන් පෝෂණය කිරීම මෙන්ම සාහිත්‍ය රසවින්දනයට හුරු කරවීම මෙමගින් අපේක්ෂා කෙරේ.

මෙහි පළමු අදියරේදී දිවයින පුරා පිහිටි උසස් පෙළ පන්ති සහිත පාසල් 2820 සඳහා වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

එම පාසල් සඳහා සිංහල, දෙමළ හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ලියැවුණු පොත් කට්ටල 2 බැගින් ලබාදීම මේ අනුව සිදු කෙරේ.

දීප ව්‍යාප්ත මට්ටමින් තරගාවලියක් පවත්වා පොත් කියවීම පිළිබඳව දරුවන්ගේ උනන්දුව වර්ධනය කිරීමේ වැඩසටහනක් ද මේ හා සමගාමීව කි‍්‍රයාත්මකය.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ වර්තමානයේ දරුවන් අතර මෙන්ම පුරවැසියන් අතර ද කියවීමේ රුචිය බොහෝ දුරට හීන වී ඇති බවයි. නවීන තාක්ෂණය සමග සමාජය තුළට කා වැදී ඇති ෆේස් බුක් සහ සමාජ වෙබ් අඩවි ඊට ඉවහල් වී තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපතිතුමා නැවතත් පොත පත කියවීමට දරුවන් යොමුකර සාහිත්‍ය රසවින්දනයෙන් මෙන්ම ශික්ෂණයෙන් යුත් සමාජයක් ගොඩනැගීමට කටයුතු කළයුතු බවද කියා සිටියේය.

සංකේතාත්මකව පාසල් සඳහා පොත් කට්ටල බෙදාදීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, රාජ්‍ය අමාත්‍ය වී රාධකි‍්‍රෂ්ණන් යන මහත්වරුන් ද මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා ඇතුළු ප‍්‍රධාන අමාත්‍යවරු, පළාත් අධ්‍යාපන අමාත්‍යවරු සහ ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා ඇතුළු රාජ්‍ය නිළධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *