ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය ලබන මාසයේ ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – ඔක්තෝම්බර් 05 වනදා සිට 11 වනදා දක්වා සතිය, ජාතික ගොවි සතියක් ලෙස ප‍්‍රකාශයට පත්කරමින් ආහාර නිෂ්පාදන ජාතික සංග‍්‍රාමය කි‍්‍රයාවට නංවන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

කෘෂිකර්ම අමාත්‍යාංශය, මහවැලි අමාත්‍යාංශය, වාරිමාර්ග අමාත්‍යාංශය ඇතුළු සියලූ අමාත්‍යාංශ ඒකාබද්ධ වූ පුළුල් ජාතික වැඩසටහනක් ලෙස එය කි‍්‍රයාවට නංවන බව ද පැවසූ ජනාධිපතිතුමා පසුගිය නියං සමයේ සිදුවූ ආහාර නිෂ්පාදනයේ පහත වැටීම, මගහරවා ගනිමින් දේශීය සහ විදේශීය වෙළෙඳපොළ සදහා ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීම ඉන් අපේක්ෂා කරන බව ද ප‍්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ කදුරුවෙල කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට අද (07) පෙරවරුවේ එක්වෙමිනි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ මෙම ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහන සාර්ථක කර ගැනීම සදහා පෞද්ගලික අංශයේ, ව්‍යාපාරික ප‍්‍රජාවගේ මෙන්ම සියලූදෙනාගේ සහය අපේක්ෂා කරන බවයි. චීන රජයේ ආධාර යටතේ රුපියල් කෝටි 520 ක වියදමින් මෙම කෘෂි ආර්ථික මධ්‍යස්ථානය ඉදිකෙරේ.

ප‍්‍රධාන වාණිජ සංකීර්ණය සහ කෘෂි කර්මාන්ත පරිශ‍්‍රයකින් සමන්විත මෙම මධ්‍යස්ථානය වෙළෙද සැල්, ළමුන් සදහා කී‍්‍රඩා කරන ස්ථාන, භෝජනාගාර පහසුකම්, බැංකු පහසුකම්, සනීපාරක්ෂක පහසුකම් ඇතුළු සියලූ පහසුකම්වලින් සමන්විතය. කෘෂි ආර්ථික මධ්‍යස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කිරීමේ සමරු ඵලකය ජනාධිපතිතුමා අතින් නිරාවරණය කෙරුණු අතර එම පරිශ‍්‍රයේ රුක් රෝපණයක් ද සිදු කෙරිණි.

මේ අතර දිස්ති‍්‍රක්කයේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන චාරිකා ඇතුළු ඔවුන්ගේ අවශ්‍යතා සදහා භාවිතා කිරීමට බස් රථ 03 ක් පොළොන්නරුව, දිඹුලාගල සහ හිගුරක්ගොඩ කලාප අධ්‍යාපන කාර්යාල වෙත භාරදීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි. දිස්ති‍්‍රක්කයේ පාසල් කිහිපයක දරුවන් කළ ඉල්ලීම පරිදි ජනාධිපති කාර්යාලයේ අරමුදල් මත මෙම බස් රථ ලබාදීම සිදුවූ අතර එම බස්රථ දරුවන්ගේ අවශ්‍යතා සදහා පමණක්ම යෙදවිය යුතු බවට ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

තමණ්කඩුව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ජනතාවට ඉඩම් ඔප්පු ලබාදීම සංකේතවත් කරමින් 06 දෙනෙකු වෙත ඉඩම් ඔප්පු පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

උතුරු මැද හා නැගෙනහිර දෙපළාතේ ප‍්‍රධාන සංඝනායක පොළොන්නරුව තමන්කඩුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති ඉසිපතනාරාමාධිපති පූජ්‍ය උඩගම ධම්මානන්ද නායක ස්වාමින් වහන්සේ ද, අමාත්‍ය පී. හැරිසන්, උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී, පළාත් අමාත්‍ය සම්පත් ශී‍්‍ර නිලන්ත යන මහත්වරුන් ඇතුළු පළාතේ මැති ඇමතිවරුන්ද, චීන තානාපති ෂී ෂියෑන්ග් ලියෑන්ග් මහතා ඇතුළු නියෝජිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *