ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා සඳහා ඉන්දීය රජයෙන් වැඩි වටිනාකමක්

(කොළඹ, ලංකාපුවත්) – ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතා සඳහා ඉන්දීය රජය වැඩි වටිනාකමක් ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කියා සිටියි.

දෙරට අතර පවතින ද්වීපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් හා පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට තමා බලාපොරොත්තු වන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත්වීමෙන් අනතුරුව සිය පළමු විදෙස් සංචාරය සිදුකරමින් ඉන්දියාවට ගිය අමාත්‍ය තිලක් මාරපන මහතා හමු වූ අවස්ථාවේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය ධුරයට පත් වීම පිළිබඳ තිලක් මාරපන මහතාට මෙහිදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සිය සුබපැතුම් එක් කර ඇති අතර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සබඳතා පිළිබඳ ක්ෂේත්‍ර කිහිපයක් ඔස්සේ පුළුල් සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත.

ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උත්සවය සඳහා පසුගිය මැයි මාසයේ තමා ශ්‍රී ලංකාවට පැමිණ ඉතා ඵලදායී සංචාරයක් සිදු කළ බව ඉන්දීව ජනාධිපතිවරයා සිහිපත් කර තිබේ.

මෙහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුබපැතුම් ඉන්දීය අග්‍රාමාත්යාවරයා වෙත පිරිනැමූ විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා තමා කැප වී කටයුතු කරන බව ප්‍රකාශ කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 − three =