එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ 72 වැනි මහා මණ්ඩල සැසිවාරය අද(12) ආරම්භ වේ.

අමෙරිකාවේ නිව්යෝක් නගරයේ පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවැත්වෙන සැසිවාරය, ලබන 25 වනදා අවසන් වීමට නියමිතය. එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් සාකච්ජා මණ්ඩල හය අතරින්, ප්‍රධානත්වය හිමි වී ඇත්තේ මහ මණ්ඩලයට ය.

සියලුම සාමාජික රටවලට සමාන නියෝජනයක් හිමි වීම එහි විශේෂත්වය වනු ඇත.

ස්ලෝවැකියානු විදේශ අමාත්‍ය මිරොස්ලාව් ලැජ්කැක් 72 වැනි සැසිවාරයේ සභාපතිවරයා ලෙස තෝරා ගෙන තිබේ. වත්මන් සභාපති ෆීජී රාජ්‍යයේ නියෝජිත පීටර් තොම්සන් වෙනුවට, ඔහු හෙට නව ධුරයට පත් වීමට නියමිතය.

වසර 2030 ඉලක්ක කරගත් තිරසර සංවර්ධන ඉලක්ක, සිරියානු අර්බුදය, උතුරු කොරියානු ක්‍රියාකාරකම් ඇතුළු අන්තර් ජාතික කරුණු රැසක් මෙවර මහ මණ්ඩලයේ සාකච්ජා කිරීමට නියමිතය.

පෘථිවිය මත සියල්ලන්ගේ යහපත වෙනුවෙන් සාමය හා තිරසර ජීවිතයක් යන්න මෙවර තේමාව වේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද එක්සත් ජාතීන්ගේ 72 වැනි මහ මණ්ඩල සැසිවාරය ඇමතීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × one =