රාජ්‍ය සේවකයින් බියට පත් කිරීමේ කුමන්ත‍්‍රණයක්

(කොළඹ, ලංකාපුවත්) – රටේ පවතින නීති රාමුව තුළ කටයුතු කිරීමට රාජ්‍ය නිලධාරීන් බිය විය යුතු නැතැයි වාරිමාර්ග හා ජලසම්පක් කලමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතාට සිරදඩුවමක් නියමවීමේ සිද්ධිය දේශපාලන වාසියට හරවා ගනිමින් රාජ්‍ය සේවකයින් බියට පත් කිරීමේ කුමන්ත‍්‍රණයක් දියත් කරමින් ඇති බවයි. එමෙන්ම වීරතුංග මහතාට සිරදඩුවමක් නියම විමේ සිද්ධීය ඒකාබද්ධ විපක්‍ෂයට පාරාවළලල්ලක් වී ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

පුත්තලම දිස්ති‍්‍රක්කයේ වනාතවිල්ලූව ප‍්‍රාදේශිය ලේකට් කොට්ඨාශයට අයත් පූක්කුලම ගම්මානය සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල යටතේ ඉදි කෙරුණු ව්‍යාපෘති රැසක් ජනතා අයිතියට පැවරීම වෙනුවෙන් පසුගියදා (11) පැවැති උත්සවයේදී අමාත්‍යවරයා මේ බව සදහන් කළේය.

පූක්කුලම යනු එල්ටීටීඊ ත‍්‍රස්තවාදයෙන් දැඩි බලපෑම් එල්ල වූ ගම්මානයකි. වසර 30 ක කාලයක් පුරාවට ත‍්‍රස්තවාදයෙන් බැට කෑ මෙම ගම්මානයේ වෙසෙන සහෝදර දමිල ජනතාවට යුද්ධයෙන් පසුව හෝ කිසිදු සහනයක් ලැබුණේ නැත. කෙසේ වෙතත් එම ගම්මානයේ අවශ්‍යතා ලබා දීමට වත්මන් රජය කටයුතු සිදු කර ඇති අතර එහි සියළු අධීක්‍ෂණ කටයුතු සිදු කරන්නේ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා විසිනි.

ගම්මානයේ වෙසෙන ජනතාවට සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දීම, ඉදිකරන ලද නිවාස විවෘත කිරීම හා අනෙකුත් නිවාසවල වැඩ ආරම්බ කිරීම ද මෙහිදී සිදු කෙරිණ. පානීය ජල ව්‍යෘපෘති ලබාදීමත් සමුපකාර ප‍්‍රාදේශිකයක් ලබාදීම මෙන්ම පූක්කුලම විදුහලේ ගුරු හිගයට විසඳුම් ලබා දීම වෙනුවෙන්ද ඉදිරියේදී කටයුතු කිරීමට නියමිත බවයි අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා කියා සිටියේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය,

ලලිත් වීරතුංගට සිරදුඩුවම් විදීමට සිදු වීම මහලොකුුවට කතා කරන්න වුවමනා කාරණයක් නොවෙයි. එවක ජනාධිපතිවරයා කිසියම් නියෝගයක් කළේනම් එය කි‍්‍රයාත්මක කිරීමට විනිවිදභාවයෙන් යුතු රාමුවක් සකස් කිරීම කළ යුතුව තිබුණා. දක්‍ෂ නිලධාරියෙකු ලෙසින් හැදින්වුවද ඔහු වගකීම නිසි රිදි ඉටුකර නැහැ. සිල් රෙදි බෙදා දීමෙන් දේශපාලන වාසි අපේක්‍ෂා කළාද එසේත් නැතිනම් පිං අපේක්‍ෂා කළාදැයි දන්නෙත් ලලිත් වීරතුංග මහත්තයම තමයි. හැබැයි රටට පැහැදිලියි මෙය දේශපාලන ව්‍යාපාරයක් පමණක් බව. කෙසේ හෝ සිල් රෙදි බෙදා දිමේ අවශ්‍යතාවක් තිබුණේනම් විදුලි සංදේශයේ රුපියල් මිලියන 600 ක් හොරෙන් අරන් සිල් රෙදි බෙදල හරියනවද? මේක අමු වංචාවක් බව පැහැදිලියි.

නිලධාරීන් වැඩ කරන්න බය වෙන්න ඕන නෑ. සියයට අනූනවයකටත් වඩා ඉන්නේ අවංක නිලධාරින්. වංචා දූෂන සිදු කරන්නේ අතලොස්සක් වූ නිලධාරීන්. රටකට රාජ්‍යකට විනයක් තිබෙනවා. මෛති‍්‍ර රනිල් ආණ්ඩුව මූලිකවම සිදු කරන්නේ ඒ විනය ගොඩ නැගීමයි. ඒක අපට අත්‍යාවශ්‍ය දෙයක්. විනයක් නැත්නම් ගොඩනැගීමක් නැහැ. එබැවින් රටේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න බය වෙන්න ඕනෙ නෑ. දේශපාලඥයින් ලබා දෙන උපදෙස් නිසි පරිදි නීතියට අනුව විනිවිද භාවයෙන් යුතුව කි‍්‍රයාත්මක් කිරීමට පියවර ගන්නේනම් ගැටළු ඇති නොවන බවද අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවැසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

11 − 7 =