ජනාධිපතිතුමා ළඟට සෙනඟ අතරින් ගිය දනුල්‍යාගේ මව කථා කරයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය 10වනදා මැදිරිගිරියේ මිරිස්හේන ගම්මානයේ පැවැති ජනහමුවකදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා හමුවට ගොස් ඡායාරූපගතවී කථාබහට ලක්වූ දනුල්‍යා චනාදි දැරියගේ මව, එම සිද්ධියෙන් පසුව ඒ ගැන මාධ්‍ය අමතා විස්තර කර තිබේ.

මැදිරිගිරියේ අමුණුගම ගම්මානයේ පදිංචි දනුල්‍යාගේ මව සෞඛ්‍ය නිලධාරිනියක වන ලක්මාලි මහත්මියයි. ඇය ඒ ගැන මෙසේ පවසා තිබේ.

‘එයාට වයස 3 යි. අපට දරු දෙදෙනකු සිටිනවා. එයා වැඩිමලා. බහ තේරෙන වයසේදී පටන් ලොකු දුව ජනාධිපති මෛත්‍රි සීයා
බලන්න ආසයි කියනවා. රූපවාහිනියේ ප්‍රවෘත්ති ප්‍රකාශවලදී ජනාධිපතිතුමාගේ රූපය දැකපු ගමන් අන්න මෛත්‍රි සීයා ඉන්නවා කියමින් ඒ වැඩසටහන් බලන්න පුරුදු වී සිටියා.මේ ඉන්නේ ලංකාවේ නායකයා මෛත්‍රි සීයා, මට බලන්න යන්න ඕනෑ කියමින් අප්පච්චිට ඇය නිතරම ඇවිටිලි කරනවා.

පසුගිය 10දා උදේ රූපවාහිනිය බලනකොට දැකල අපේ අම්මා දුවට කියලා තිබෙනවා ජනාධිපති සීයා අද මෙහෙ එනවා කියලා. එදා උදේ වරුවේ ජනාධිපතිතුමා මිරිස්හේනට එන නිසා අපි බලන්න යන්න තීරණය කලා. අප්පච්චි මාත් එනවා මෛත්‍රි සීයා බලන්න. මාත් එක්ක යන්න කියලා ඇය කිහිපවතාවක්ම ඇවිටිලි කළා.

මම දුවත් සමඟ මිරිස්හේනට ගියා. ඒ වන විට ජනාධිපතිතුමා උත්සවයට පැමිණ සිටියා. මම දුව වඩාගෙන එම ස්ථානයට ගියා. මෛත්‍රි සීයා බලන්න ඕනෑ කියමින් ඇය ඇවිටිලි කරන්න පටන් ගත්තා.
අපට වේදිකාව අසලට යන්න බැරි වුණා. මම දුව බිම තැබුවා. ඇය සෙනඟ අතරින් රිංගගෙන ගොස් වේදිකාව අසලට ගියා. ජනාධිපතිතුමා ඇය දැක එක්වරම ඇයට එන්න ඉඩ දෙන්න කියලා තිබුණා.
ඊට පස්සේ මම දැක්කේ දුව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී සිටින අන්දමයි. දරුවා සමඟ ජනාධිපතිතුමා සතුටු සාමීචියේ යෙදී සිටියා. ජනාධිපති ආරක්ෂක භටයන් මට ඒ අසලට වී ඉන්නැයි කීවා. බොහොම කාලයක පටන් ජනාධිපතිතුමා දැක බලා ගන්නට දුවගේ ආශාවක් තිබුණා. මේ හමුවීමෙන් ඇගේ ආශාව ඉටු වුණා.‘

තුන් හැවිරිදි දනුල්‍යා චනාදි දැරිය කිසිදු චකිතයකින් තොරව ජනාධිපතිතුමාගේ ඔඩොක්කුවේ වාඩි වී විනාඩි 20කට අධික කාලයක් සතුටු සාමිච්චියේ යෙදී සිටි අතර පසුව ඒ ගැන මාධ්‍ය වාර්තා රැසක්ද පළවිය.

(තමන්කඩුව – ගාමිණි ඔබේසේකර)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *