සංවර්ධන ලොතරැයි මණ්ඩලයට නව සභාපතිවරයෙක්

(කොළඹ, ලංකාපුවත්) – රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ජ්‍යෙෂ්ඨ කළමනාකරුවෙකු වූ එස්. ඒ. පී. සූරියප්පෙරුම මහතා ජනාධිපතිතුමාගේ නිර්දේශය මත, සංවර්ධන ලොතැරැයි මණ්ඩලයේ සභාපති ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පත් කර ඇත.
කඳපොල මහින්ද මහා විද්‍යාලය, පොරමඩුල්ල මධ්‍ය මහා විද්‍යාලය හා මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේ ආදි සිසුවෙකු වන මොහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලන විශේෂ (ගෞරව) උපාධිය ලබාගෙන ඇත.

ලංකා බැංකුවේ අභ්‍යාසලාගී කළමනාකරුවෙකු වශයෙන් කළමනාකරණ ක්ෂේත්‍රයට පිවිසි මොහු, පසුව සෙලාන් බැංකුවේ ප්‍රධාන කළමනාකරුවෙකු වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කර ඇත.

බැංකු ක්ෂේත්‍රෙයන් ඉවත්ව, ලංකා සිමෙන්ති සමාගමේ සභාපතිවරයා ලෙසත්, සමෘද්ධි අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත්, සමෘද්ධි අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙසත්, පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් පසුගිය කාලය තුළ දී කටයුතු කළ ඇති අතර, ශ්‍රී ලංකා ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකයෙකු ලෙස ද සේවය කර ඇත.

2000 වර්ෂයේදී බැංකු ක්ෂේත්‍රෙයන් හා රාජ්‍ය අංශයට සමුදුන්, සූරියප්පෙරුම මහතා ජාත්‍යන්තර ෆාම් තෙල් නිෂ්පාදන සමාගමක් වන විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ද සමාගමක් වූ පිරිමිඩ් ලංකා සමාගමේ ශ්‍රී ලාංකීය ෆාම් තෙල් පිරිපහදුවේ ආරම්භක සාමාන්‍යාධිකාරිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස 2012 වසර දක්වා කටයුතු කරමින් ආහාරමය තෙල් පිරිපහදු ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට දායක වී ඇත.

2006 වර්ෂයේදී ෆාම් තෙල් සහ මේද වර්ග ඉන්දු-ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම යටතේ අපනයනය සම්බන්ධයෙන් දෙරට අතර ඇතිවූ අර්බුදකාරී අවස්ථාවේදී නැවත වතාවක් ශ්‍රී ලංකාවෙන් ෆාම් තෙල් අපනයනය කිරීම සම්බන්ධව පැවති ද්වීපාර්ශවික සාකච්ඡාවලට සහභාගී වූ, විල්මාර් ජාත්‍යන්තර සමාගමේ අනුබද්ධ සමාගමක් වන ශැන්ග්‍රි-ලා (Shangri-la) හෝටල් සමූහයට, ශ්‍රී ලංකාවේ ව්‍යාපාර කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීම සඳහා අවශ්‍ය ව්‍යාපාරික පසුබිම සකස් කිරීම සඳහා ප්‍රමුඛ දායකත්වය ලබාදී ඇත.

විල්මාර් ජාත්‍යන්තර සමාගම් සමූහයේ (Willmar International) විල්මාර් අප්‍රිකානු සමාගමේ අධ්‍යක්ෂවරයෙකු සහ සාමාන්‍යාධිකාරිවරයා ලෙසත් බෙන්සෝ ඔයිල් ෆාම් වැවිලි සමූහයේ අධ්‍යක්ෂකවරයකු සහ විගණන කමිටු සාමාජිකයකු ලෙසත්, ඝානා රාජ්‍යයේ වසර හතරක කාලයක් කටයුතු කර ඇති අතර, විල්මාර් ඔලිවින් (Willmar Olivin) සිම්බාබ්වේ සමාගමේ ප්‍රධාන ව්‍යාපාර කළමනාකරු වශයෙන් වසරක කාලයක් කටයුතු කර ඇත.

සේන සූරියප්පෙරුම මහතා විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ විශලේෂණය කිරීමේ නියළුණු අතර ජාතික පුවත්පත් කිහිපයකට ව්‍යාපාර, මූල්‍ය හා සංවර්ධන කටයුතු සම්බන්ධ තීරු ලිපි ලේඛකයෙකු වන අතර, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ “සතියේ ආර්ථික විමසුම” සංකල්පය ඉදිරිපත් කර දීර්ඝ කාලයක් එම වැඩසටහනට පවත්වාගෙන යාමට දායක වී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *