පරිසරය පිළිබඳව සියලුදෙනාගේ වගකීම් නිසි ලෙස ඉටුකිරීමේ අවශ්‍යතාවය ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – පරිසර සංරක්ෂණය, පරිසර ඇගයීම් සහ පරිසර වටිනාකම් පිළිබඳව සියලුදෙනාගේ වගකීම් සහ යුතුකම් නිසි ලෙස ඉටුකිරීම අත්‍යාවශ්‍ය බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ,සොබාදම් පියස, නව ගොඩනැගිලි සංකීර්ණය ඊයේ(14) පස්වරුවේ විවෘත කරමිනි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය පවත්වාගෙන ගිය බත්තරමුල්ල රජමල්වත්ත පාරේ කුලී පදනම මත ලබාගත් නව ගොඩනැගිල්ල වෙනුවට බත්තරමුල්ල රොබට් ගුණවර්ධන මාවතේ ඉදිකළ සොබදම් පියස නව ගොඩනැගිල්ල සඳහා මුල්ගල් තබන ලද්දේ 2015 මාර්තු 18 වන දින ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතිනි.

ජනතාවට විධිමත් හා කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් නවීන තාක්ෂණය හා මුසු වෙමින් හරිත ගොඩනැගිලි සංකල්පය යටතේ සියලුම පහසුකම් සහිතව ඉදිකර තිබෙන මහල් 10 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණය සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1262 කි.

මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ යම් දිස්ති‍්‍රක්කයක් තුළ පරිසර නීති රීති නිසි ලෙස කි‍්‍රයාත්මක කිරීම දිස්ති‍්‍රක් ලේකම්, ප‍්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරින්ගේ වගකීම වන අතර එම කටයුතු සඳහා දේශපාලන බේදයෙන් තොරව සහය දැක්වීම බලය ඇති හෝ බලය නැති සියලුම මහජන නියෝජිතයින්ගේ වගකීම බවයි.

අද දවසේ තමන් වෙත පැවරී ඇති කාර්ය නිසි ලෙස ඉටුකළ යුත්තේ හෙට දවස සුබදායක කර ගැනීම සඳහා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

සොබාදම් පියසේ 03 වන මහලේ ස්ථාපිත කර තිබෙන අමාත්‍ය කාර්යාලය වෙත ගිය ජනාධිපතිතුමා විෂයභාර අමාත්‍යවරයා ලෙස එහිදී ලිපි ලේඛන කිහිපයකට ද අත්සන් තැබීය.

මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *