නීතියට දේශපාලන ඇගිලි ගැසීම් නැහැ – අගමැති කියයි

(කොළඹ, ලංකාපුවත්) –නීති කටයුතුවලට දේශපාලන ඇගිලි ගැසීම් නැති බැවින් රටේ අපරාධ අඩු වී ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියි.

මාවතගම සංවර්ධන උදාව ජනහමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියාසිටියේය.

වත්මන් රජයේ වැඩපිළිවෙළ හේතුවෙන් විදේශ ජයග්‍රහණ රැසක් ලබා ගැනීමට හැකි වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා මෙහිදී කියාසිටියේය. අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම්, අමාත්‍ය එස් බී නාවින්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නලීන් බණ්ඩාර, මහාචාර්ය ආශු මාරසිංහ, පොලිස්පති පූජිත් ජයසුන්දර යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

ගුණ නැන බල සපිරි මානව හිතවාදී සිසු පරපුරක් ගොඩනැගීම උදෙසා අධ්‍යාපන අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ළඟම පාසල හොඳම පාසල’ ජාතික වැඩසටහන යටතේ පරගහදෙණිය ජාතික පාසලේ නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ආරම්භ කෙරුණි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. පුස්තකාලය, ආපන ශාලාව සහ විදුලහල්පති නිල නිවස ද මේ යටතේ ඉදිකිරීමට නියමිතයි. මේ සදහා අක්කර දෙකක ඉඩමක් සහ ලක්ෂ දෙසියයක මුදලක් පරිත්‍යාග කළේ අල්හාජ් මොහොමඩ් සාජහාන් මහතා විසිනි.

මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ අධ්‍යාපනයේ ගුණාත්මක වර්ධනය වෙනුවෙන් පාසල් වෙත සියලු පහසුකම් ලබා දෙන බවය.

ඉන් අනතුරුව මාවතගම, දෙනුවරවත්ත වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමට ද අග්‍රාමාත්‍යවරයා එක්විය. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 108කි. රුපියල් මිලියන 10ක් වැය කරමින් ඉදිකළ වටරැක මහා විද්‍යාලයේ ප්‍රාථමික අධ්‍යාපන ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන නව ගොඩනැගිල්ල සහ රුපියල් මිලියන 103ක වියදමින් කාපට් අතුරා සංවර්ධනය කළ උග්ගල්පාය මාර්ගය විවෘත කිරීම ද සිදුකළේ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි.

ඉන් අනතුරුව රුපියල් මිලියන 57ක වියදමින් ඉදි කෙරුණු මාවතගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට ද අග්‍රාමාත්‍යවරයා එක්විය. ඉන් අනතුරුව ජන හමුව පැවැත්වුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *