බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනියට ස්ථාන මාරුවක්

(කොළඹ, ලංකාපුවත්) – වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට අනුයුක්ත කර ඇත.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරුන් 19 කගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතාට අද (18) මේ පිළිබඳ දැනුම් දී තිබේ.

එම වෛද්‍යවරුන් ලෙඩ නිවාඩු දමා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ ඇත. එහිදී වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරියගේ වෘත්තීය විෂමාචාර පිළිබද කරුණු 26 ක් ඇතුලත් වාර්තාවක් සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත බාරදී තිබේ.

එම වාර්තාව වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන්ගේ එකමුතුව විසින් සකස් කර තිබූ අතර, එම කරුණු පිළිබදව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් පරීක්ෂණයක් පවත්වන ලෙස එම වෛද්‍යවරුන් සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත. ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යවරයා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අත්සනින් එම පරික්ෂණය ඉල්ලා පොලිස්පති වරයා වෙත ලිපියක් යොමු කිරීමට නියමිතය.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරිනිය වන නිර්මලී තේනුවර මහත්මිය කොළඹ ජාතික රෝහලට මාරු කර යැවීමෙන් හිස්වන පුරප්පාඩුව සදහා වැඩබලන ප්‍රධාන වෛද්‍ය නිලධාරීවරයා ලෙස ඡේ.කේ මල්වත්තගේ මහතා පත්වනු ඇත.

.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *