ඩෙංගු මරණවලින් දෙගුණයක් කාන්තාවන්

(කොළඹ, ලංකාපුවත්) –වසර 2017 දී ඩෙංගු රෝගය හේතුවෙන් රෝගීන් 1,51,975ක් වාර්තා වූ බවත් ඉන් මරණ 390ක් සිදුව තිබෙන බවත් මෙම මරණවලින් දෙගුණයකට වඩා එනම් සියයට 68%ක් කාන්තාවන්ගේ මරණ බව ජාතික ඩෙංගු මර්දන වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක,විශේෂඥ වෛද්‍ය හසිත තිසේරා මහතා අනාවරණය කරයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (18) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් වෛද්‍ය හසිත තිසේරා මහතා මේ බව පැවසීය. සැප්තැම්බර් 20 දින සිට දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත ඩෙංගු මදුරු මර්දන සතිය වෙනුවෙන් මාධ්‍ය දැනුවත් කිරීමට මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණි.

මෙය සැළකිය යුතු තත්ත්වයක් බවද පවසන හසිත තිසේරා මහතා,මෙය වීමට හේතුව නිසි ලෙස පැවැසිය නොහැකි බව ද කීය. කෙසේ වෙතත් මෙවැනි ස්ත්‍රී මරණ පවුලට හා දරුවන්ට බලපාන බැවින් ඒ පිළිබඳව සමාජය සැළකිලිමත් වීම අත්‍යාවශ්‍ය බවද පෙන්වා දුන්නේ ය.

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරික්ෂා කිරීමේ ජාතික වැඩපිළිවෙලක් වන ඩෙංගු මදුරු මර්දන සතිය නැවතවරක් සැප්තැම්බර් මස 20 දින සිට 26 දින කාලය දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කෙරේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා කියා සිටියේ මෙම වැඩපිළිවෙලට සමගාමීව නිවාසවල ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරික්ෂාකිරීමේ කාඩ්පතක් ලබාදීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *