ඩෙංගු රෝගීන් සියයට 90න් අඩු වෙයි

(කොළඹ, ලංකාපුවත්) – පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව සියයට 90න් අඩුවී ඇති බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය සදහන් කරයි.

දිවයිනම ආවරණය වන පරිදි ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරිම සදහා ඩෙංගු මදුරු මර්දන සහායකයින් 700 ක් සහ සෞඛ්‍ය කණිෂ්ඨ කාර්ය සහායක තනතුරු 250 ක් සදහා පත්වීම් ලිපි ප්‍රධානෝත්සවය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ල වෙද්‍ය පර්යේෂණායතනයේ දී පැවැත්වුණා.

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“කිසියම් රැකියාවක ලබාදෙන පත්වීම් ලිපියේ රැකියා ලාභියාගේ අයිතිවාසිකම් සියල්ල සටහන් කර තිබෙනවා. ඒ සමගම රාජ්‍ය ආයතනය තුල ලිපිගොනුවක් ද නිර්මාණය වෙනවා. ලැබෙන පත්වීම් ලිපියට අනුව යොමු කර ඇති සේවා ස්ථානයේ රාජකාරි කටයුතු සිදු කළ යුතුයි. එය වෙනස් කර ගැනීමටත් අද පත්වීම් ලාභීන් උත්සාහ කරනවා. ඒ සදහා අනුකම්පා සහගත කරුණු රැසක් ඉදිරිපත් කරනවා. ඩෙංගු මදුරු මර්දන වැඩසටහන් සදහා බස්නාහිර පළාතට මීට පෙර 500 ක මදුරු මර්දන සහායකයින් පිරිසක් බදවා ගත්තා. දිවයිනම ආවරණය වන පරිදි තවත් 1000 ක පිරිසක් බදවා ගැනීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. මෙම මදුරු මර්දන සහායකයින් විශිෂ්ට සේවාවක් පසුගිය කාලයේ ඉටු කිරිම හේතුවෙන් ඩෙංගු මදුරු මර්දනය සාර්ථකව ඉටු කිරීමට අපට හැකි වුනා. යුද්ධයේ දී තම සතුරා දර්ශෙනය වුවද මදුරු මර්දනයේ දී එලෙස සතුරා දර්ශනය වන්නේ නැහැ. සංවර්ධිත රටවල් ද ඩෙංගු මදුරු උවදුරින් පීඩා විදිනවා. ඩෙංගු රෝගය පැතිරයාම කළමණාකරණය කිරිම හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ද අපේ රට ඇගයීමට ලක් කළා. නමුත් අපේ රටේ මාධ්‍ය ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වන විට හොද ප්‍රචාරයක් ලබාදෙනවා. නමුත් අවම වන විට එම ප්‍රවෘත්තිය පළ කරන්නේ වත් නැහැ. අද වනවිට දිවයින පුරා රෝහල්වල සිටින්ගේ ඩෙංගු රෝගීන් 937 ක් පමණයි. ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 90 කින් අඩු වී තිබෙනවා.”

“ඉදිරි ඔක්තෝම්බර් සහ නොවැම්බර් මාසවලදී අපේක්ෂිත මෝසම් වර්ෂාව හේතුවෙන් ඩෙංගු යළි හිසඑසවිමේ අවධානමක් පවතිනවා. ඊට මුහුණදීම සදහා දිවයින පුරා විශේෂිත මදුරු මර්දන සතියක් හෙට සිට (20) ලබන (26) වැනිදා දක්වා ක්‍රියාත්මක කරනවා. උතුරු නැගෙනහිර කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. අපේ රටේ විපක්ෂ නායකවරයා උතුරට නායකත්වය ලබාදෙනවා. රජයේ හොද වැඩවලට විපක්ෂ නායකවරයාගේ සහයෝගය ලැබී තිබෙනවා. නමුත් රජය විසින් ආරම්භ කරන සෑම වැඩකටම විරුද්ධ වන රතු කොඩි ඔසවාගෙන සිටින පිරිසක් දකුණේ ඉන්නවා. විපක්ෂ නායකවරයාට තේරෙන දෙය දකුණේ ඉන්න එම පිරිසට තේරෙන්නේ නැහැ. ජාතික ප්‍රශ්නය විසදීම සදහා සියලු දෙනා එකතු වී සිටිනවා. මෙම ජාතික ප්‍රශ්නය විසදීමට මම අඛණ්ඩව සටන් කළා. අපි සුළු ජාතිකයින්ට පහර ගහන එක නොවෙයි කරන්න ඕන. ඇතැම් කාලකණ්ණි චින්තකයින්ගේ අරමුණ පහර එල්ල කරන එකයි.”

“රාජ්‍ය සේවකයින් සදහා රුපියල් 10,000 ක වැටුප් වැඩීවීමක් ලබාදුන්නා. වෛද්‍යවරුන්ට එම 10,000 වැටුප් වැඩිවිමට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් රුපියල් 10,000 ක වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. එම මුදල් ලබාගෙන තමයි වෛද්‍ය සංගමයේ ඇතැම් අය මට බණින්නේ. නමුත් අනෙක් වෘත්තීය සමිති මා සමග ඒකාබද්ධව වෘත්තීය ගැටලු විසදීමට පියවර ගන්නවා. අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමෙන් වෙළෙද නාම 298 ක ඖෂධ මිල අඩු වී තිබෙනවා. ජනතාවට අවශ්‍ය සහන ලබාදිය යුතුයි. යහපාලන පොරොන්දු ඉටු කිරීමේ දී විවිධ බාධක මතු වෙනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අනවශ්‍ය බව ප්‍රකාශ කරමින් දෑකැත්ත කොඩිය සහිත රතු කොඩි සාමාජිකයින් විරෝධය පළ කරනවා. නමුත් කාම්බෝජය, චීනය, වියට්නාමය වැනි රටවල ද පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත කර තිබෙනවා. අපේ රටේ විරෝධතා පවත්වන අය දූපත් මානසිකත්වයෙන් කටයුතු කරන්නේ. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතු කිරීමත් පහසු නැහැ. රජය තුල ප්‍රශ්න තිබුනත් මෙම ආණ්ඩුව හොද ආණ්ඩුවක්. මම ඕනෑම පක්ෂයක් සමග එක්ව කටයුතු කිරීමට කැමැතියි. මෙම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ මෙම දීගයත් ඉදිරියටම රැගෙනයාමට කටයුතු කරනවා.”

මෙහිදී නිවාස වල මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරීක්ෂා කිරීමෙන් පසු සටහන් යෙදීමේ කාඩ්පතක් හදුන්වා දුන් අතර, එය මදුරු මර්දන සහායකයින් විසින් නිවෙස් හිමියන්ට ලබාදීමට නියමිතය. එම කාඩ්පතේ පළමු පිටපත සෞඛ්‍ය අමාත්‍යවරයාට මෙහිදී පිළිගන්වන ලදි.
මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරන්න මහත්මිය, සෞඛ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (පාලන 1) ඩොනල්ඩ් මුරගේ මහතා, ඩෙංගු මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත තිසේරා මහතා ඇතුලු වෛද්‍යවරුන්, වෘත්තීය සමිති නායකයින්, එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *