ට්‍රම්ප්, උතුරු කොරියාවට දෙහි කපයි

(කොළඹ, ලංකාපුවත්) –’ප්යෝන්ග්යාන්’පාලනය ඔවුන්ගේ හෝ ඔවුන්ගේ සගයන් ගේ ආරක්ෂාව සඳහා බලපෑම් කරන්නේ නම් අමෙරිකා එක්සත් ජනපදය විසින් උතුරු කොරියාව විනාශ කර දමනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කරයි.

අමෙරිකා ජනාධිපතිවරයා එම අනතුරු ඇඟවීම කළේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතමින් සිය පළමු කතාව සිදු කරමිනි.

එක්සත් ජාතීන්ගේ 72 වන මහා මණ්ඩල සැසිය ඊයේ(19) නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ආරම්භ විය.

සිය කතාවේ දී උතුරු කොරියානු නායක කිම් ජොන් අන් සමච්චලයට ලක් කරමින් අදහස් දැක්වූ අමෙරිකා ජනාධිපතිවරයා “රොකට් මෑන් සිය දිවි හානිකර ගැනීමේ ගමනක නිරත වෙමින්” සිටින්නේ යැයි සඳහන් කළේය.

සිය කතාවේ දී ඉරානයට ද පහර දුන් ජනාධිපති ට්‍රම්ප් ‘ටෙහෙරාන්’ පාලනය විග්‍රහ කළේ ” මැද පෙරදිග අස්ථාවර කරන දූෂිත ආඥාදායකත්වයක්” ලෙසයි.

ඉරානය සම්බන්ධයෙන් තව දුරටත් අදහස් දැක්වූ අමෙරිකානු නායකයා ත්‍රස්තවාදයට දෙන සහයෝගය නතර කරන මෙන් ‘ටෙහෙරාන්’ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

එසේම බරක් ඔබාමා පාලන සමයේ දී ඉරාන් න්‍යෂ්ටික ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඇතිකර ගත් ගිවිසුම ද ඔහුගේ විවේචනයට ලක්විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *