ජනපති යළි දිවයිනට

(කොළඹ, ලංකාපුවත්) – එක්සත් ජාතීන්ගේ 72 වන සැසිවාරය සදහා සහභාගීවීමට අමෙරිකාවේ නිල සංචාරයක නිරත වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය සංචාරය සාර්ථකව නිමවා අද (25) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේය.

මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වූ තුන්වන අවස්ථාව මෙය වන අතර, රටක් ලෙස අප අනුගමනය කරන ප‍්‍රතිපත්ති ඉතා ඝෘජු ලෙස මෙහි ජනාධිපතිතුමා ලෝක නායකයින් හමුවේ ප්‍රකාශ කළේය.

ජනාධිපතිතුමා සැසිවාරයට සහභාගීවීම සදහා දිවයිනෙන් පිටත්ව ගියේ පසුගිය 17 වනදායි. 18 වනදා උදෑසන නිව්යෝර්ක් නුවරට ළගා වූ ජනාධිපතිතුමා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව රාජ්‍ය නායකයින්ගේ සහභාගීත්වයෙන් පැවති දේශපාලන ප‍්‍රතිසංස්කරණ සහ ආර්ථික හා සාමාජීය සභාවේ සැසිවාරයට ද එක් විය. එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටරෙස් මෙන්ම, අමෙරිකා ජනාධිපති ඩොලන්ඞ් ට‍්‍රම්ප් යන මහත්වරුන් ඇතුථ රාජ්‍ය නායකයෝ එම සමුළුවට එක්ව සිටියහ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වන සැසිවාරය ආරම්භ වූයේ ඉකුත් 19 වනදා පෙරවරුවේය.

සැසිවාරයේ ආරම්භක දිනයේ අමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා සැසිවාරය ඇමතූ අතර ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මැතිතුමා ද එදින පස්වරුවේම සැසිවාරය අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරන ලදි.

ජනාධිපතිතුමා සිය කථාව ආරම්භයේදීම තමා ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නායකයා ලෙස ගතවූ වසර දෙක හමාරක කාල වකවානුව තුළ ඉටුකළ පියවර පිළිබද ලෝක නායකයින් දැනුවත් කළ අතර ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කිරීමට, සාමකාමී නිදහස් රටක් ගොඩනැගීමට මෙන්ම ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට ගත් ක්‍රියාමාර්ග පිළිබදව ද ලෝක නායකයින් දැනුවත් කළේය. එහිදී ජනාධිපතිතුමා ඉතාමත් පැහැදිලි ලෙස ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා ගැනීමෙන් පසු ගෙවී ගිය වසර 62 ක කාලය සලකා බැලීමේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප‍්‍රඥප්තීන්ට, එකඟත්වයන්ට හා නීතිරීතිවලට අනුගතව කටයුතු කර ඇති බවයි. එමෙන්ම ශ‍්‍රී ලංකාව ඉදිරියේදී එම මඟෙහිම ගමන් කරනු ඇති බව සදහන් කළ ජනාධිපතිතුමා එහිදී රටක් ලෙස අප කටයුතු කරන්නේ රටේ ස්වාධීනත්වය හා ස්වෛරීභාවය සුරකිමින් වන බව ද අවධාරණය කළේය. නිදහස් හා සාමකාමී රටක් ලෙස සාර්ථකව සෙමින් ඉදිරියට යන අපේ ගමනට සහාය වන ලෙස ද මෙහිදී ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටි ජනාධිපතිතුමා තම රට වගකීම් සපුරාලනු ලබන්නේ අන්තවාදීන් අපේක්ෂා කරන ආකාරයට හෝ ඔවුන්ට අවශ්‍ය වේගයට නොවන බව ද අවධාරණය කරනු ලැබීය.

සැසිවාරය පැවති දිනයේ දහවල් එයට සහභාගීවූ රාජ්‍ය නායකයින් සදහා එක්සත් ජාතින්ගේ මහලේකම් අන්තෝනියේ ගුටෙර්ස් මහතා විසින් පවත්වන ලද විශේෂ දිවා භෝජන සංග‍්‍රහයට ද ජනාධිපතිතුමා එක් විය. රාජ්‍ය නායකයින් සදහා ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් මහතා විසින් පවත්වන ලද විශේෂ රාත්‍රී භෝජන සංග‍්‍රහය ද එදින පැවැත්විණි. ඊට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ජයන්ති සිරිසේන මැතිණිය ද එක් විය.

සිය අමෙරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිවාරයට සහභාගීවීමට පමණක් සීමා නොකළ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකාව සහ ජාත්‍යන්තරය අතර සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් රාජ්‍ය නායකයින් කිහිප පළක් සමගම ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වන ලදි.

පාකිස්ථාන අගමැති ෂහීඞ් ඛාන් අබ්බාසි, නේපාල අගමැති ෂර් බහුදුර් සියාබා යන මහත්වරුන් මෙන්ම ඇමරිකාවේ දේශපාලන කටයුතු පිළිබද සහකාර රාජ්‍ය ලේකම් තෝමස් ෂැනන් මහතා සමග ද ජනාධිපතිතුමා සාකච්ඡා පැවැත්වීය. එමෙන්ම ජනාධිපතිතුමා සහ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබද මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු අතර පැවති හමුව සුවිශේෂී වූ අතර ශී‍්‍ර ලංකාවේ සංහිදියා කි‍්‍රයාපිළිවෙත පියවරෙන් පියවර ඉදිරියට යන බවත්, ශී‍්‍ර ලංකාව ලබා ඇති ප‍්‍රගතිය සියැසින් දැක බලා ගැනීමට ඉදිරි වසරේදී ශී‍්‍ර ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙසත් ජනාධිපතිතුමා මෙහිදී මහකොමසාරිස්වරයා වෙත ආරාධනා කළේය.

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහලේකම් අන්තෝනියේ ගුටරෙස් මහතා අතර හමුව පැවැත්වුණේ 23 වනදා පස්වරුවේය. එහිදී ජගත් මහලේකම්වරයා අවධාරණය කළේ, සමෘද්ධිය සහ සහජීවනය පිරි ලෝකයේ ආදර්ශමත් ජාතියක් ලෙස නැගී සිටීමට ශී‍්‍ර ලංකාවට සෑම සහයක්ම ලබාදෙන බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *