පසුගිය පාලකයින් සමාදාන විනිශ්චයකාර පදවියට වටිනාකමක් දුන්නේ නැහැ – ඇමති රංගේ බණ්ඩාර

(කොළඹ, ලංකාපුවත්) – සමාදාන විනිශ්චයකාර පදවිය පුද්ගලික බැබලීම උදෙසා පලදින ආභරණයක් නොව, සමාජ වැඩ පිණිස ලබා දෙන උත්තරීතර පදවියක් බව වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි.

සාමවිනිසුරු පදවි පිරිනැමීම වෙනුවෙන් ආණමඩුව සිය කාර්යාලයේ පසුගියදා 22වනදා පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේබව කීය. ග‍්‍රාමීය ප‍්‍රජා නායකයින්, තරුණ නායක නායිකාවන් ඇතුළු තිස් දෙනෙකු මෙහිදී සාමවිනිසුරු පත්වීම් ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා,

ග‍්‍රාමීය වශයෙන් ඇතිවන ආරවුල් සමථයකට පත් කිරීමේ අරමුණ ඇතිව සමථ මණ්ඩල ක‍්‍රමය ආරම්භ වුණා. මෙය අතිශය වටිනා කි‍්‍රයාධාමයක්. කෙසේ වෙතත් පසුගිය සමයේදී සාමදාන විනිසුරු පදවිය පිළිබඳ තිබුණු ගෞරවය කෙලෙසී ගියා. සමාජ සේවය, නායකත්වය, බුද්ධිමත්බව, සමාජයට සේවය කිරීමට ඇති උනන්දුව මෙන්ම පුද්ගල වටිනාකම යන කාරණා සාමදාන විනිස්චයකාරවරයෙකු ලෙස පත්විමට ඇති සුදුසුකම් වුවද පසුගිය රජය සමයේ එම සුදුසුකම් පසෙකට විසිකර දැමීමට පාලකයින් කටයුතු කර තිබුණා. මෙම උත්තරීතර පදවිය මැරයින්ට හා දූෂකයින්ට පරිත්‍යාග කළ අවස්ථා අපි දැක්කා. පසුගිය කාලයේ පාලකයින් මෙම උත්තරීතර තනතුරේ වටිනාකම් දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් පාවල දුන්නා. එදා එහෙම වුණත් අද එහෙම වෙන්නේ නෑ.

සාමවිනිසුරු පදවිය චරිත සහතික ලබා දීමට පමණක් සීමා කළ යුතු නෑ. ගමේ කිසියම් ප‍්‍රශ්නයක් ඇත්නම් එය සාකච්ඡුා මාර්ගයෙන් විසදීම දක්වා වූ පුළුල් මෙහෙවරක් සිදු කිරීමට සාමවිනිසුරුවරයෙකුට හැකියාව තිබෙනවා. එවැනි කාරණයක් සඳහා අවතීර්ණ විය හැකි බලයක් තේජසක් ලෙසයි මෙම පදවිය ලබා දෙන්නේ.

වර්තමානය වන විටත් ග‍්‍රාමීය සමාජය තුළ ආරවුල් ඇති වීමේ ප‍්‍රවනතාවක් දක්නට ලැබෙනවා. පවුල් ආරවුල් ඒ අතරින් ප‍්‍රධානයි. ඒ වගේම පවුල් පවුල් අතරත් විවිධ කණ්ඩායම් අතරත් ඉතා සුළු කාරණා මුල්කර ගනිමින් ගැටළු ඇති වන අවස්ථා බහුලයි. මෙම තත්ත්වයන් රටේ ඉදිරි ගමනට විශාල බාධාවක්. එබැවින් සමථ කි‍්‍රයාවලිය තුළින් මේ ගැටළු විසදිය හැකියි. අවශ්‍ය වන්නේ සමථ මණ්ඩල කි‍්‍රයාවලිය තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීමයි. මෙහි ඇති වටිනාකම් පිළිබඳ සමාජයද පුළුල්ව දැනුම්වත් කළ යුතුයි. ඒ වෙනුවෙන් ගෙන ඇති උත්සාහය ප‍්‍රමාණවත් යැයි පැවසිය නොහැකියි. ඒ පිළිබඳ රජය මෙන්ම සමාජයද අවදානය යොමු කිරීම ඉතා වැදගත් කාරණයක් යැයිද අමාත්‍යවරයා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *