ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට සංචාරක ක්ෂේත්‍රය සංවර්ධනය කළ යුතු යි – අගමැති

(කොළඹ, ලංකාපුවත්) – ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමේ ප්‍රධාන පියවර ලෙස සංචාරක ක්ෂේත්‍රය සංවර්ධන කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකා හෝටල් පාසල් උපාධි සංගමයේ හතලිස් හය වන වාර්ෂික සභා රැස්වීමට සහභාගී වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

ඉකුත් 23වනදා Anantara Peace Heaven Tangalle Resort හිදී දී එය පැවැත් වුණි.

එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ,

“සංචාරක ක්ෂේත්‍රය තුළින් විදේශ විනිමය වගේම රැකියා උත්පාදනය සිදුකරනවා. ඒ හරහා අපේ රටේ ණය පියවාගැනීමේ හැකියාවක් ලැබෙනවා. මේ රජය වසර දෙකක් තුළ මේ රට ණය බරෙන් මුදා ගැනීමට හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. මේ වසර දෙක අපිට ඉතාම තීරණාත්මක වුණා. අපි අලුතින් හිතන්න ඕනේ. ලෝකයේ සංචාරක වෙළෙදපොළ අලුත්වෙලා. වසරකට සංචාරකයින් මිලියන පහක් මෙරටට ගෙන්වා ගැනීම අපේ ඉලක්කයයි. අපි ඒ සදහා කැපවී කටයුතු කළ යුතුයි. ඩෙංගු , ගංවතුර ආදී උවදුරු හමුවේත් මෙරටට සංචාරකයින් මිලියන දෙකක් පැමිණ තිබෙනවා. ලෝකය අපේ රට දිහා බලන් ඉන්නවා. අපි ඒකෙන් ප්‍රයෝජන ගන්න ඕන. දවස් තුන්සිය හැට පහේම සංචාරක ආකර්ෂණය දිනාගත් රටක් බවට අපි මේ රට පත් කරන්න ඕනේ.”

ලංකා හෝටල් පාසල් උපාධි සංගමය පවත්වන හතලිස් හය වන වාර්ෂික හමුව පසුගිය 22වනදා තංගල්ලේ දී ආරම්භ විය. එය ඊයේ (24) අවසන් විය. පසුගිය23වනදා සමුළුවේ ප්‍රධාන ආරාධිතයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී විය.

සංචාරක ක්ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටුකළ මලීන් හපුගොඩ , යූ සී ජයසිංහ ,රවී දිරිතොටවෙල , යන මහත්වරුන් සදහා උපහාර පිදීම ද මෙහිදී සිදුවිය.

සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු පිළිබද අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *