ඩිජිටල් විප්ලවය තුළින් මෙරට ආර්ථිකයේ විප්ලවයක් – අගමැති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ඩිජිටල් විප්ලවයකට අනුගත විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිහ මහතා පවසයි.

ගාලුමුවදොර පිටියේ ඊයේ(25) පැවති උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

ගාලු මුවදොර ෆ්‍රී වයිෆයි කලාපය විවෘත කිරීමේ උත්සවය පැවැත්වුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙලෙස ද පැවසීය.

 ඩිජිටල් විප්ලවයට එකතුවීමෙන් තොරව මේ රටේ ආර්ථිකය ශක්තිමත් කළ නොහැකි බව මම කියන්න කැමැතියි. ශ්‍රී ලංකාව ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. වර්තමානයේ ලෝකයේ සෑම රටකම ඩිජිටල් ආර්ථික ක්‍රමය ක්‍රියාත්මක වෙනවා. කාලයක් ලෝකය පැවතුණේ කෘෂි ආර්ථිකය පදනම් කරගනිමිනුයි. ඉන්පසුව කර්මාන්ත ආර්ථිකයක් ද බලශක්ති ආර්ථිකයක් ද ලෝකයේ ඇති වුණා. 

වර්තමානයේදී අප ලෝකයේ අනෙක් රටවල් මෙන් ඩිජිටල් ආර්ථිකයක් කරා ගමන් කළ යුතුයි. ඩිජිටල් ආර්ථිකයට ශ්‍රී ලංකාවත් එකතු වූ විට ගමනා ගමන පහසුකම්, තොරතුරු සන්නිවේදන පහසුකම් සහිත මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් වෙනවා. 

අන්තර්ජාල පහසුකම් සම්බන්ධ බදු අඩු කිරීම අන්තර්ජාල පහසුකම ලබාදීමේ වැඩ සටහනේ එක් පියවරක්. දෙවනුව මෙවැනි අන්තර්ජාල පහසුකම් ලබාදෙන යන්ත්‍ර දිවයින පුරා ඇති කිරීමටත් අපි බලාපොරොත්තු වනවා. විශේෂයෙන්ම එළඹෙන වසරේ මාර්තු අප්‍රේල් මාසයන් වන විට රටේ සියලුම උසස් පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ටැබ් පරිගණක යන්ත්‍ර ලබාදෙනවා.

ඒ හරහා තමන්ගේ නිවසට ඩිජිටල් ආර්ථිකය ගෙන ඒමට ඔවුන්ට හැකියාව ලැබෙනවා. මෙම ඩිජිටල් විප්ලවයට එක්වීම හරහා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ලෝකයේ දැනුම ලබාගැනීමට හැකි වනවා. මේ පියවර කිහිපය අනුගමනය කරමින් වසර 3, 4 ක් ගත වන විට ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් නිර්මාණය වේවි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *