සාරි පොටේ සිද්ධිය ගැන විමර්ශනයට විශේෂ පොලිස් කණ්ඩායමක්

(කොළඹ, ලංකාපුවත්) – මහනුවර ගන්නොරුව ප්‍රදේශයේ මංගල උත්සවයක් සඳහා ළමුන් 250 දෙනෙකු සහභාගී කරවා ගනිමින් එම ළමුන්ව හිංසනයට ලක්කළ බවට ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පැමිණිලි වාර්තාවී තිබේ. ඒ අනුව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ආරම්භ කළ විමර්ශනය පුළුල් කර ඇතැයි  අධිකාරියේ සභාපති නීතීඥ මරිනි ද ලිවේරා මහත්මිය සදහන් කළාය.

මූලිකවම මෙම ක්‍රියාදාමය හරහා මෙරට අපරාධ නීතිය කඩවීමකට ලක්වී ඇත් දැයි සොයාබැලීම සඳහා විශේෂ අවධානය යොමු කර ඇත. ඒ සඳහා මා විසින් ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ සහකාර පොලිස් අධිකාරී මෙරිල් රංජන් මහතා වෙත ලිඛිතව උපදෙස් ලබාදී තිබේ. එහිදී පහත කරුණු පිළිබඳව විශේෂ අවධානයට ලක්කෙරේ.

  • අදාළ අවස්ථාව සඳහා සහභාගී වූ මුළු සිසුන් ගණන හා ඔවුන්ගේ තොරතුරු,අදාළ අවස්ථාව සඳහා පන්ති භාර ගුරුවරු සහභාගී වී තිබේද? එසේනම් ඔවුන්ගේ තොරතුරු.
  • පන්ති භාර ගුරුවරුන් සඳහා අදාළ අවස්ථාවට දරුවන් සහභාගී කරවන ලෙස නියෝග කරන ලද්දේ කවුරුන් විසින්ද යන්න දැක්වෙන පැහැදිලි ප්‍රකාශ සටහන්.
  • අදාළ අවස්ථාව සඳහා සහභාගී වූ දරුවන්ගේ දෙමව්පියන්ට අදාළ තොරතුරු.
  • අදාළ උත්සවය පැවති කාලය, පටන්ගත් වේලාව, අවසන් වූ වේලාවසහ දරුවන් නැවත පාසල වෙත එවන ලද වේලාව.
  • අදාළ අවස්ථාවේ දරුවන්ට ආහාරපාන ලබාදුන්නේද? දුන්නේ නම් ඒ මොනවාද?
  • අදාළ විදුහල්පතිවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
  • අදාළ උත්සවය සම්බන්ධව පාසල් දරුවන් සහභාගී කරවීමට නියෝග කළේද යන්නට අදාළ පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ සහ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
  • මෙම අවස්ථාවේදී යම් අසනීප තත්වයට ගොදුරු වූ ළමුන් සිටීද? එසේ නම් ඔවුන් අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීම හා ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කර ගැනීම.
  • මෙම අවස්ථාවේ ළමයින්ගේ තාවකාලික භාරකාරත්වය දරණ ලද්දේ කවුරුන් විසින්ද?
  • මෙම උත්සව අවස්ථාව සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී තිබුනේද?
  • ළමයින්ට කොපමණ දුරක් පයින් ඇවිද යාමට සිදු වුනිද?මෙම අවස්ථාව සඳහා ගිලන් රථ යොදාගෙන තිබුනේද?

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් මෙම විමර්ශනය සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර ඇති අතර, විමර්ශන කටයුතු කඩිනමින් සිදු කෙරේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two + seventeen =