ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයට කැපවිය යුතුයි – ජනපති පහදයි

(කොළඹ, ලංකාපුවත්) – ලබන ඔක්තෝබර් 06 වනදා ආරම්භ කෙරෙන ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය දිස්ති‍්‍රක් මට්ටමින් සාර්ථක කර ගැනීම සඳහා සියලු දිස්ති‍්‍රක් ලේකම්වරුන් කැපවිය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

ආයතන මට්ටමින් වගකීම් පවරමින් අදාළ චක‍්‍ර ලේඛ මේ වන විට නිකුත් කර අවසන්ව ඇති අතර චක‍්‍රලේඛ අනුව නොව ජාතියේ අනාගතය වෙනුවෙන් පැවරුණු වගකීමක් සේ සලකා මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට සියලු රාජ්‍ය නිලධාරින් මෙන්ම දේශපාලඥයින් ද කැපවිය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ(26) කොළඹ මිලෝදා ආයතනයේ පැවති දිසාපති සමුළුව අමතමිනි.

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ පූර්ණ මැදිහත්වීමෙන් දෙදිනක් පුරා පැවති 2017 දිසාපති සමුළුවේ අවසන් දිනය අදයි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ පසුගිය වසර එක හමාරක කාලය තුළ රටට බලපෑ දැඩි නියඟය මෙන්ම ගංවතුර හේතුවෙන් පහත වැටුණු අපගේ කෘෂිකර්මාන්තය තුළ නව පරිවර්තනයක් ඇති කරමින් ගොවි ජනතාවගේ ආර්ථිකය මෙන්ම රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම උදෙසා රජය මෙම වැඩසටහන ආරම්භ කරන බවයි.

ඔක්තෝබර් 06 වනදා සිට 11 වනදා දක්වා පැවැත්වෙන ජාතික කෘෂිකර්ම සතිය තුළදී සෑම දිස්ති‍්‍රක්කයක් තුළම මෙම වැඩසටහනට අදාළ කිසියම් හෝ ව්‍යාපෘතියක් එම දිස්ති‍්‍රක්කයේ මැති ඇමතිවරුන්ගේ සහභාගිත්වයෙන් කි‍්‍රයාවට නැංවීම අනිවාර්ය බව ද ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.

ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමය කි‍්‍රයාවට නැංවෙන ආකාරය පිළිබඳවද ජනාධිපතිතුමා මෙහිදී දීර්ඝ වශයෙන් දිස්ති‍්‍රක් ලේකම්වරුන් දැනුවත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

14 − six =