විද්‍යා ඝාතන සිද්ධියේ 07කට මරණ දඩුවම

(කොළඹ, ලංකාපුවත්) – යාපනය ශිවලෝගනාදන් විද්‍යා දැරිය ඝාතන සිද්ධියේ නඩුවේ විත්තිකරුවන් හත් දෙනෙකුට යාපනය මහාධිකරණය අද(27) මරණ දඬුවම නියම කළේය.

ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් යාපනය මහාධිකරණයේදී මෙම තීන්දුව ප්‍රකාශයට පත්කරන ලදි.

ඒ අනුව විත්තිකරුවන් වූ පුද්ගලයින් හත් දෙනාට මහාධිකරණය විසින් මරණ දණ්ඩනය නියම කර ඇති අතර ඉතිරි දෙදෙනා නිදහස් කර ඇත.

එමෙන්ම විද්‍යා දැරියගේ පවුලට රුපියල් මිලියනයක වන්දියක් ලබා දෙන ලෙසද මොවුන්ට නියෝග කර තිබේ.

මෙම මරණ දඬුවම සමඟ අවුරුදු 30ක සිර දඬුවමක්ද නියම කර ඇත.

යාපනය මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාග වූ නඩුවේ තීන්දුව මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

යාපනයේ පුන්කුඩුතිව් විද්‍යාලයේ ඉගෙන ගත් සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්ව ඝාතනය කෙරෙන්නේ 2015 මැයි 13 වනදාය.

දැරිය පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කිරීම, සමූහ ස්ත්‍රී දූෂණයකට කුමන්ත්‍රණය කිරීම, මිනී මැරීමට කුමන්ත්‍රණය කිරීම, අයුතු ජනරාශිය ඇතුළු චෝදනා හතළිස් එකක් යටතේ විත්තිකරුවන් නව දෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබුණි.

නීතිපති ජයන්ත ජයසූරිය මහතාගේ ඉල්ලීමකට අනුව මෙම නඩුව විභාග කිරීම සදහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරනු ලැබීය.

මහාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂි මහේන්ද්‍රන් මහතාගේ සභාපතිත්වයෙන් යුත් මෙම ත්‍රිපුද්ගල කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ අන්නලිංගම් ප්‍රේමශංකර්, මානික්‍යවාසගර් ඉලන්චෙලියන් යන මහත්වරුන්ය.

කොළඹින් බැහැරව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විභාගයට ගත් පළමු නඩුව ලෙසද මෙය ඉතිහාස ගත වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *