පොලිස් නිලධාරීන්ගේ නිල ඇඳුම් සඳහා ප්‍රමිතියක්

(කොළඹ, ලංකාපුවත්) –ශ්‍රී ලංකා පොලීසියේ නිලධාරීන්ගේ නිල ඇඳුම්, හිස් වැසුම්, සපත්තු නිසි ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුතුව ලබාදීම සඳහා මසක් ඇතුලත වාර්තාවක් ලබාදෙන ලෙස නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සිය අමාත්‍යංශ ලේකම්වරයා ඇතුලු නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

දැනට පොලිස් නිලධාරීන් භාවිතා කරන නිල ඇඳුම්, හිස් වැසුම් සහ සපත්තු සාම්පල කිහිපයක් පසුගිය 25වනදා අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් නිරීක්ෂණයට ලක්කිරීමෙන් අනතුරුවයි අදාළ උපදෙස් ලබාදී තිබේ.

එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදුන් අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන්කර ඇත්තේ පොලිස්පතිවරයාගේ සිට කොස්තාපල්වරයා දක්වා සියලු ම නිලයන් සඳහා නිල ඇඳුම් භාවිතයේදී ගුණාත්මකභාවයෙන් ඉහල එකම රෙදී වර්ගයක් භාවිතා කරන ලෙසය. මීට අමතරව දැනට පොලිස් කොට්ඨාස මට්ටමින් නිලධාරීන්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු සිදුකෙරෙන අතර එය පොලිස් රාජකාරිවලට බාධාවක් බවයි අමාත්‍යවරයා එහිදී පෙන්වාදී ඇත. ඒ අනුව අදාළ නිලධාරීන්ගේ නිල ඇඳුම් මැසිමේ කටයුතු පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ අධීක්ෂණය යටතේ සිදුකරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබාදී තිබේ. එමෙන්ම නිල ඇඳුම් මැසිම සඳහා පොලිස් නිලධාරීන්ට දෙපාර්තමේන්තුව මගින් ලබාදෙන දීමනාව ප්‍රමාණවත් නොමැති හෙයින් එය වැඩිකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද අමාත්‍ය සාගල රත්නායක මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබාදීමට පියවර ගෙන ඇත.

මීට අමතරව පොලිස් හිස්වැසුම් සහ සපත්තු සාම්පල ද නිරීක්ෂණයට ලක් කළ අමාත්‍යවරයාට එහිදී අනාවරණය වූයේ පොලිස් කොස්තාපල්වරුන් සහ සැරයන්වරුන් භාවිතා කරන සපත්තු සහ හිස්වැසුම් අධික බරකින් යුත් බවයි. දිනයේ වැඩි පැය ගණනක් රාජකාරියේ නිරතවන පොලිස් කොස්තාපල්වරුන්ට සහ සැරයන්වරුන්ට එය දැඩි අපහසුවක් වන බවයි අමාත්‍යවරයා එහිදී සිය අමාත්‍යංශ නිලධාරීන්ට පෙන්වාදී ඇත. ඒ අනුව ජාත්‍යන්තර මට්ටමේ ප්‍රමිතියෙන් සහ ගුණාත්මක භාවයෙන් යුත් සැහැල්ලු සපත්තු සහ හිස්වැසුම් එම පොලිස් නිලධාරීන්ට ලබාදීමට කටයුතු කරන මෙන් අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *