සූර්ය ගවේෂණය සඳහා නව අභ්‍යවකාශ යානයක්

(කොළඹ, ලංකාපුවත්) –සූර්ය ගවේෂණය සඳහා නව අභ්‍යවකාශ යානයක් යෙදවීමට අමෙරිකාවේ නාසා ආයතනය සූදානම් වේ.

සූර්යාගේ මතුපිට පෘෂ්ඨයට වඩා එහි වායුගෝලය එනම්, රශ්මි මාලාව උෂ්ණත්වයෙන් වැඩි වීමට හේතුව අනාවරණය කර ගැනීම අපේක්ෂා වේ. වසර 2014 දී අනුමැතිය ලද මේ ව්‍යාපෘතිය මුලින් හඳුන්වනු ලැබුවේ, “සෝලාර් ප්‍රෝබ් ප්ලස්” යනුවෙනි.

එහෙත්, සූර්යාගේ සිට පැමිණෙන වායුධාරා ඇති බවට 1958 දී නිවැරදි අනාවැකි පළ කළ, චිකාගෝ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාඥයෙකු වන ඉයුජින් පාකර්ට උපහාර පිණිස, එම ව්‍යාපෘතිය පසුව “සෝලාර් ප්‍රෝබ් පාකර්” ලෙස නම් කෙරුණි.

නව ව්‍යාපෘතිය සඳහා මුදල් අමෙරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය කිරීමට නියමිතය. සූර්යාට සැතපුම් මිලියන 4ක් ආසන්නයේ ගමන් කිරීමට නියමිත බැවින් යානාව ෆරන්හයිට් අංශක 2,500ක උෂ්ණත්වයකට හා අතිධ්වනි අංශු මඟින් ඇති වන බලපෑමට ඔරොත්තු දිය හැකි අයුරින් නිර්මාණය කෙරේ.

මේ යානය සූර්යා වටා කක්ෂයට ඇතුළුවීම සඳහා සිකුරු ග්‍රහයා වටා 7 වරක් ගමන් කරනු ඇති බව විද්‍යාඥයන් පවසයි.

එය සූර්ය කක්ෂය වටා 24 වතාවක් ගමන් කරනු ඇතැයිද, අපේක්ෂා කෙරේ. නාසා ආයතනය පවසන්නේ, යානය වසර 2024 දෙසැම්බර් වන විට සූර්ය කක්ෂයට ඇතුළු වනු ඇති බවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *