විද්‍යාගේ බලු පැටියා‘කුට්ටි’ විද්‍යා එනතෙක් මග බලා හිදියි

(කොළඹ, ලංකාපුවත්) – වසර කිහිපයක නඩු විභාගයෙන් පසුව යාපනය විද්‍යා දැරිය අමානුෂික ලෙසින් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ 7 දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට අධිකරණය තීරණය කරනු ලැබීය. එම තීන්දුවෙන් පසුව විද්‍යා දැරියගේ මව විසින් ඊයේ (28) මාධ්‍යවෙත අදහස් දක්වමින් පවසා සිටියේ ජාති බේදයකින් තොරව තම දියණියට සාධාරණය ඉටු කිරීම සඳහා වෙහෙස වු සියලූම දෙනාට තමන් ස්තුතිය පුද කරන බවය.

විද්‍යා ඝාතනය වූ නිසා සිත්තැවුලට පත් ඇගේ පියා දැඩි ලෙස රෝගතුර වූ බවත්, එදායින් පසු ඔහුට කතා කිරීමට පවා නොහැකි බවත් ඇය පවසා තිබුණි.

විද්‍යාගේ සිදුවීම සම්බන්ධයෙන් සරස්වතී මහත්මිය අදහස් දැක්වීම ආරම්භ කළේ අතීතය සිහිපත් කරමින් කතා කළාය.

‘අපි පදිංචිවෙලා සිටියේ පුංකුඩුතිව්. යුද්ධය නිසා අනූව දශකයේ මුල් කාලයේ සමහරු යාපනයට ගියා. අපි මාන්කුලම්වලට ගියා. විද්‍යා ඉපදුණේ 1996 නොවැම්බර් මාසයේදි මාංකුලම්වලදියි. එයාගේ අක්කා ඉපදුණේ 1991දි. අයියා 1993දි ඉපදුණේ. විද්‍යා දුව මුලින් ගියේ තුනුක්කායි දෙමළ මිශ‍්‍ර පාසලට. එහෙදි ශිෂ්‍යත්ව විභාගය ලියලා ඉහළින් සමත් වුණා.

ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල ආපු දවසේ ඒ ඉස්කෝලේ පිරිමි ළමයෙක් එයාට ඩස්ටරෙන් මූණට ගහලා තිබුණා. ඔයා මට වැඩි ලකුණු ගත්තා කියලයි ගහලා තිබුණේ. ඩස්ටරේ තිබුණු හුණු විද්‍යාගේ ඇස්වලට ගිහින්. දවස් දෙකක් විතර යද්දි විද්‍යාගේ පෙනීම අඩු වෙලා ඇස් අමාරුවක් ආවා. ඒ කාලේ යුද්දෙත් තිබ්බා. බොහොම අමාරුවෙන් මම විද්‍යාව කොළඹ අරගෙන ගියා. අපේ ඥාතියෙකුගේ ගෙදර තියාගෙන ඉඳලා ඉන් පස්සේ සුලෙයිමාන් ඉස්පිරිතාලෙට ඇතුළු කළා. එහෙදි ඇහැට ශල්‍යකර්මයක් කළා. ඒකට බේත් කරන්න එහෙම ඕන නිසා විද්‍යාව අපේ ඥාති ගෙදර නවත්වලා මම ආවා.

ඒ අතරතුර යුද්ධය දරුණු වෙද්දි අපි ආයෙත් පුංකුඩුතිව් එන්න ආවා. එද්දි ෂෙල් එකක් වැදිලා විද්‍යාගේ තාත්තා අසනීප වුණා. එයා කුලී වැඩ කරලයි ජීවත් වුණේ. යුද්දෙට කළින් එයා කඩයක මුදල් අයකැමි විදියට හිටියා. ෂෙල් එක වැදුණට පස්සේ එයා එකතැන් වුණා.

විද්‍යා කොළඹ ඉන්න කාලේ එහේ ඉස්කෝලවලට ඇතුළු කරන්න හැදුවත් අස්වීම් සහතිකයක් නැති නිසා බැරි වෙලා තියෙනවා. ඉන් පස්සේ අපේ ඥාතීන් විද්‍යාව ටියුෂන් පන්ති ඇරලා ඉගැන්නුවා. එහේ අවුරුදු හතරක් ඉඳලා දුව පුංකුඩුතිව් ආවා.පස්සේ පුංකුඩුතිව් මහා විද්‍යාලයට විද්‍යා දුව ඇතුළු කරන්න ගියා. එයා අවුරුදු හතරක් ඉස්කෝලේ ගිහින් නැති නිසා ගන්න බැහැ කිව්වා. ඉන් පසු කොහොම හරි අපි පැරැත්ත කරද්දි විදුහල්පතිතුමා විභායක් තිබ්බා. ඒ විභාගෙන් විද්‍යා හොඳට ලකුණු ගත්තා. ඉන් පස්සේ විදුහල්පතිතුමා දුවව 9 වසරට ඇතුළත් කර ගත්තා.

දුව ඉන් පස්සේ විභාගවලට හොඳට ලකුණු ගත්තා.සාමාන්‍ය පෙළත් සමත් වුණා. එයා කැමැත්තෙන් හිටියේ කවදා හරි මාධ්‍යවේදිනියක් වෙන්න. ඉන්දියාවේ ගිහින් ජනමාධ්‍ය ගැන ඉගෙන ගන්න එයා කැමැත්තෙන් හිටියා. ඒ නිසා හින්දිත් ඉගෙන ගත්තා. සාමාන්‍ය පෙළ සමත් වෙලා එයා උසස් පෙළට කලා විෂයන් තෝරාගත්තෙත් ඒ නිසයි.

දුවට මේ අපරාධය කළේ දුව උසස් පෙළ පළවෙනි අවුරුද්දෙදි. මේ අපරාධය කරන්න දවස් කීපයකට කලින් දුව සුදු ගවුමක් මහන්න දුන්නු එකක් බලන්නයි තවත් වැඩකටයි ගියා. ගිහින් එද්දි ස්විස් කුමාර් ඇතුළු කට්ටිය දුව එනකං හංදියට වෙලා වෑන් එකක බලාගෙන ඉඳලා තියෙනවා.
සිද්ධිය වුණු දවසේ දුුවට පරක්කු වෙලා තිබුණේ. එයාට තේ එකත් එළියට ගිහින් දුන්නා. දුව ඉස්කෝලේ ගියාට පස්සේ ආවේ නැති නිසා කුරිකට්ටුවාන් පොලිස් මුරපොළට ගියත් ඔවුන් පැමිණිල්ල බාර ගත්තේ නෑ. ඉන් පස්සේ කයිට්ස් පොලිසියට ගියා. කයිට්ස් පොලිසියට ගියාම ඔවුන් මාව ගණන් ගත්තේ නෑ.

දුව තරුණයි නේද, ලස්සනයි නේද, එයා කොහේ හරි යන්න ඇති. දවස් දෙක තුනකට පස්සේ කොල්ලෙක් එක්ක ගෙදරට එයි කියලා කයිට්ස් පොලිසියෙන් එක එක ඒවා කිව්වා. රෑ වෙලා නිසා මම ගෙදර ආවා. ගෙදර ඇවිත් පහුවදා උදේම පුතාත් එක්ක දුව හොයන්න පටන් ගත්තා. හංදියේ කඬේ අය කිව්වා කලින් දවසේ දුව එතැනින් ඉස්කෝලේ යනවා දැක්කේ නෑ කියලා. ඒ නිසා ගෙදරත් ඒ හංදියත් අතර හොයන්න කිව්වා. අපි හැම තැනම හෙව්වා.

අපේ දුව ‘කුට්ටි’ කියලා බල්ලෙක් හැදුවා. ඒ බල්ලත් ඇවිත් දුවව හෙව්වා. බල්ලා දුවගේ සපත්තුවක් උස්සං ඇවිත් පුතාගේ (විද්‍යාගේ අයියා) ළඟින් දාලා ආයෙත් දිව්වා. ඉන් පස්සේ පුතත් ඒ පැත්තට යද්දි දුවව දැකලා කෑ ගැහුවේ. එදා පුතාට කලන්තය වගේ හැදුණා. එදා ඉඳන් අද වෙනකම්ම විද්‍යාව මතක් කරන හැම වෙලාවකට පුතාට කළෙන්තේ හැදෙනවා. එයා පන්නා පන්නා මේක ගැන හොයන්න ගත්තා. ඒ නිසාම තර්ජන ආවා. පසුව ඔහුව රට යැව්වා.

දුවගේ මිනිය ගේන්න කලින් සැකකාරයෝ කීප දෙනෙක් අපේ ගෙදරට ආවා. අපි හිතුවේ නෑ ඔවුන් මේක කළේ කියලා. දුව හදපු එළුවා ගාවට ඔවුන් ගියාම එළුවා නලලට ඇනලා තිබුණා. ඒ සැකකාරයාගේ නංගි කෑ ගහගෙන ආවා අපේ අයියට එළුවා අනිනවා කියලා. මම ගිහින් ඇහුවා ඇයි දුවගේ එළුවා ගාවට ගියේ කියලා. මෙයාලා ඉන් පස්සේ එළුවට කෝටුවලින් ගැහුවා. මම ඔවුන්ට බැන්නා එළුවට ගහන්න එපා කියලා.

විද්‍යාගේ අයියා සැරෙන් සැරේ අසනීප වෙද්දි එයාගේ ඔළුව අතගගා සනසන්නත් සැකකාරයෝ ඇවිත් හිටියා. ස්විස් කුමාර් එක්ක අපේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් එයත් මළගෙදර ඇවිත් තිබුණා.

විද්‍යා මැරුණු කණස්සල්ලට විද්‍යාගේ තාත්තාට කතා කර ගන්න බැරිව ගියා. තවම එයාට කතා කරන්න බැහැ. මේ සිද්ධිය කයිට්ස් පොලිසියෙන් හරියට විමර්ශනය කළේ නෑ. මිනිස්සු විරෝධතා දක්වද්දි රහස් පොලිසියට විමර්ශන බාර දීලා තිබ්බා. රහස් පොලිසියේ නිශාන්ත සිල්වා මහත්තයා, රහීම් මහත්තයා ඇතුළු කට්ටියක් ඇවිත් විමර්ශන පටන් ගත්තා. නිශාන්ත මහත්තයා පුදුම විදියට මේකට මහන්සි වුණා. සල්ලිවලට යට වුණේ නෑ. එයා මේ ගමේ හැම තැනම ඇවිදලා සාක්කි හෙව්වා. අවුරුදු දෙක්ක පුරාවට රහස් පොලිසිය මහන්සි වුණා.

ඉන් පස්සේ නීතිපති දෙපාර්තමේන්තුවේ කුමාර් රත්නම් මහත්තයා ඇතුළු පිරිස මේ නඩුවට බොහොම වෙහෙසුණා.
මේ නඩු තීන්දුව අපි පිළිගන්නවා. හරිම නඩු තීන්දුව දීලා තියෙනවා. අපිට සාධාරණය ඉෂ්ඨ කරපු විනිසුරුවරුන් තිදෙනාටත් මම ස්තුති කරනවා. ඔවුන් සාධාරණ නඩු තීන්දුවක් ලබා දුන්නා.

අවුරුදු දෙකක් තිස්සේ මේ ගැන වෙහෙස වුණු සියලූම දෙනාට මම ස්තුතිය පුද කරනවා. දුවට සාධාරණය පතා උද්ඝෝෂණ කළ, විවිධ දේවල් කළ සියලූ දෙනාම මතක් කරන්න කැමතියි. ජනාධිපතිවරයාත් මේ අවස්ථාවේ මතක් කරනවා.

මම නැවත වරක් කියනවා රහස් පොලිසියේ නිශාන්ත මහත්තයා සහ සහකාර පොලිස් අධිකාරී තිසේරා මහත්තයා මේ නඩුවට ගොඩක් වෙහෙසුණා. රහස් පොලිසියේ රහීම් මහත්තයා සහෝදරයෙක් වගේ උදව් කළා. රහස් පොලිසියේ 15 දෙනකු පමණ මේකට මහන්සි වුණා. නිශාන්ත මහත්තයා දෙවියක් වගේ. එයා වගේ අය තව හිටියා නම් ඕනම අපරාධයක් විසඳන්න පුළුවන්. පොලිසිය අපි වෙනුවෙන් සාධාරණය ඉටු නොකරද්දි රහස් පොලිසිය මහන්සි වුණා.

අවසාන වශයෙන් කියන්නේ විත්තිකාරයන්ගෙන් මට සත පහක්වත් එපා. මොකද මගේ දුව නැවත ලැබෙන්නේ නැහැනේ. වෙන කිසිම අම්මා කෙනකුට මට අත්වූ ඉරණම අත් වෙන්න එපා කියලා මම ප‍්‍රාර්ථනා කරනවා. මං විඳින දුක වෙන අම්මා කෙනකුට විඳින්න ලැබෙන්න එපා.’ යැයි විද්‍යාගේ මව කීවාය.

ඝාතනයට ලක්වු ශිවලෝගනාදන් විද්‍ය දැරිය ආදරෙන් ඇති දැඩි කළ බලු පැටියා තවමත් විද්‍යා එනතෙක් මග බලාගෙන සිටින බව විද්‍යාගේ මව ශිවලෝගනාදන් සරස්වතී මහත්මිය පැවසීය. විද්‍යාගේ අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදීද මෙම බලු පැටියා විද්‍යාගේ සොහොන් ගැබට ආචාර කිරීමට පැමිණි බවද විද්‍යාගේ ඥාතීන් සදහන් කළේය.

(උපුටා ගැනීම – තරිඳු ජයවර්ධන සහ සිතුම් චතුරංග – ලංකාදීප)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × one =