ධීවර පන්නවලට ඩොල්ෆින් මසුන් හසුවීම වළක්වාගත යුතුයි – ධීවර අමාත්‍යංශය

(කොළඹ, ලංකාපුවත්) – ඩොල්ෆින් මසුන් ධීවර පන්නවලට හසුවීම වළක්වා නොගතහොත් තවත් වසර පහකින් මෙරට මත්ස්‍ය අපනයනයට තහනම් පැමිණවීමේ අවදානමක් මතුව ඇතැයි ධීවර අමාත්‍යාංශය නිවේදනය කරයි.

එබැවින් ඩොල්ෆින් මසුන් හසුවීම වැළැක්වීමට ධීවරයින් පියවර ගත යුතු බවය අවධාරණය කෙරේ. බහුදින ධීවර යාත්‍රාවල භාවිත කෙරෙන මරුවැල් හෙවත් ලොන්ග් ලයින් නමැති පන්න ක්‍රමයට ඩොල්ෆින් මසුන් හසුවීම මීට හේතුව වේ.

අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී ඇත්තේ මේ පිළිබඳව කඩිනමින් අවධානය යොමු කළ යුතු බවය. මරුවැල් සඳහා යොදා ගන්නා ඇමට ඩොල්ෆින් මසුන් ආකර්ෂණය වීම වැළැක්වීමේ නව උපාංගයක් ජාත්‍යන්තර ධීවර කර්මාන්තයේ දී භාවිත කෙරෙන බවත්, ඒවා කඩිනමින් මෙරට ධීවරයින්ට නොමිලයේ දීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ජාත්‍යන්තර ධීවර නීතියට අනූව ඩොල්ෆින් මසුන් ඇල්ලීම සපුරා තහනම් ය.

2016 වසරේ දී අමෙරිකා එක්සත් ජනපදය මෙරට සමස්ත මත්ස්‍ය අපනයනයෙන් 29%ක් මිලදී ගෙන තිබේ. ඩොල්ෆින් හසුවීම වැළැක්වීමට ධීවර ප්‍රජාව ක්‍රියාකිරීමෙන් ශ්‍රී ලංකාවේ මත්ස්‍ය සම්පතට අමෙරිකා එක්සත් ජනපද වෙළෙදපොළේ අවස්ථාව රැක ගත යුතු බව අමාත්‍යවරයා අවධාරණය කරනු ලැබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *