කොළඹ පැල්පත්වාසීන්ට නිවාස 50,000 ක් – වසර 2023 දී වැඩ අවසන්

(කොළඹ, ලංකාපුවත්) – කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා ඉදිවන නිවාස 50,000 වැඩකටයුතු වසර 2023 වන විට අවසන් කරන බව අමාත්‍ය පාඨලී ඇමති චම්පික රණවක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ බොරැල්ල ලෙස්ලි රණගල මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක් වෙමිනි.

මහානගර සංවර්ධන සැලැසුමට අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් රුපියල් ලක්‍ෂ 540 ක වියදමින් මෙම මාර්ගය ප‍්‍රතිසංවර්ධනය කරන ලදි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“බොරැල්ල ප‍්‍රදේශය ඉතාම ජනාකීර්ණ ප‍්‍රදේශයක්. මේ ප‍්‍රදේශය පසුගිය කාලය පුරාම විධිමත් සංවර්ධනයකට හසු වූනේ නැහැ. වනාතමුල්ලේ ලිපිනය වෙනස් කරන්න අපි මේ වන විට කටයුතු කරගෙන යනවා. පළමු පියවර ලෙස වෘත්තීයවේදී නගරයක් ඉදිකිරීම සඳහා කටයුතු ආරම්භ කළා. එතන නිවාස 600 කට අධික ප‍්‍රමාණයක් තව වසර එකහමාරකින් පමණ ඉදිවෙනවා. එමගින් බොරැල්ලට රටේ වෛද්‍යවරු, ඉංජිනේරු මහත්වරු, ගණකාධිකාරීවරු පවුල් 600 ක් පමණ පදිංචියට එනවා.

ගරු අග‍්‍රාමාත්‍යතුමා අපට පොරොන්දු වී තිබෙනවා ලබන වසරේදී නාගරික නිවාස සංවර්ධනය අවශ්‍ය අරමුදල් සම්පාදනය කරන්න. එමගින් අපට හැකිවෙනවා. කොළඹ නගරයේ පැල්පත්වාසීන් සඳහා ඉදිවන නිවාස 50,000 වැඩකටයුතු 2023 වන විට අවසන් කර මේ කොළඹ නගරයේ පැල්පත්වාසීන්ගේ ගැටළුව සදහටම විසඳලා නවීන නගරයක් ඉදිකරන්න අපට ශක්තිය ලැබෙනවා.

එසේම වැලිකඩ බන්ධානාගාරයේ, රිමාන්ඞ් බන්ධනාගාරය මාලිගාකන්දේ ප‍්‍රධාන අධිකරණ සංකීර්ණය තිබෙන ස්ථානයට ගෙන යන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි ඉන්න අයගෙන් 90% ක් මත්ද්‍රව්‍ය වැරදි නිසා සිරගත වෙච්ච පිරිසක්. ඒ පිරිස අපි ප‍්‍රතිශෝධනය කරලා රටේ වැදගත් පුරවැසියෝ පිරිසක් බවට පත් කළ යුතුයි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × four =