රුපියල් බිලියන 38ක කොකේන් විනාශ කිරීමට පියවර

(කොළඹ, ලංකාපුවත්) –පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර තිබේ.
පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් බීබීසි සිංහල සේවයට පැවසුවේ මේ මස තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පියවර ගන්නා බවය.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය අධිකරණ කටයුතු අවසන් වන තෙක් ගබඩා කර තැබීම සාමාන්‍ය ක්‍රියාදාමය වන නමුත් මෙවන් විශාල තොග ගබඩා කිරීමේදී පැන නගින ගැටළුවලට පිළියමක් ලෙස මෙම තොග විනාශ කිරීමට තීරණය කර තිබේ.
“මේ මාසය තුළ ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ මේ තොග විනාශ කිරීමට අපි කටයුතු කරනවා. පසුගිය වසර තුළ අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928ක් එහි අඩංගු වෙනවා” පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කියා සිටියේය.

මෙලෙස විනාශ කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 38ක් පමණ වෙතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන අනුව 2016 ජනවාරි මාසයේ සිට (රට තුළට ගෙන ඒමට තැත් කළ අවස්ථාවන්හිදී) රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1232කි. ඒ කාලපරිච්ඡේදය තුළ රේගුව අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 16කි.

ඊට අමතරව රේගුවට මගහැරුණු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග ද තිබේ. පසුගියදා සතොස ගබඩා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 218 රේගුවේ ඉහත සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවේ.

(උපුටා ගැනීම – බීබීසී )

Leave a Reply

Your email address will not be published. Required fields are marked *