ගංවතුර ආපදාවෙන් විපතට පත්වූවන්ට ජපානයෙන් අතහිත

(කොළඹ, ලංකාපුවත්) – ජපාන “ගුන්මා” දිස්ත්‍රික්කයේ, “මයෙබෂී” නගරයේ නගරාධිපති රීයු යමමෝතෝ (RYU YAMAMOTO) මහතා සහ එම මහත්මිය වන මියැ යමමෝතෝ (MIE YAMAMOTO) අද (02) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

පසුගිය දා ඇති වූ ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් මෙම හමුවේ දී මූල්‍යාධාර පිරිනැමූ රීයු යමමොතෝ මහතා සහ එම මහත්මිය, මීට ඉහතදී ද ශ්‍රී ලංකා රජය වෙත ගිනි නිවීමේ රථ දෙකක් ලබාදීමට පියවර ගෙන තිබිණ.

ඉදිරියේදී ද ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් ආධාර උපකාර කිරීමට කටයුතු කරන බව යමමොතෝ මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවේ පැවසීය.

ගුන්මා දිස්ත්‍රික්යේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් ලෙස්ලි වර්නන් මහතාගේ සම්බන්ධීකරණයෙන් පැවැති මෙම හමුවට නුගේගොඩ, නාලාන්දාරාමාධිපති සහ මහබෝධි සංගමයේ නියෝජ්‍ය ලේකම් තිනියාවල පාලිත හිමියෝ ද සහභාගි වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *