අතීතය හා අනාගතය යා කෙරෙන “ විද්‍යා 2017 ” අධ්‍යාපනික ප්‍රදර්ශනය ඇරඹේ

(කොළඹ, ලංකාපුවත්) – විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සහ කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨයේ සම සංවිධායකත්වයෙන් සංවිධාන කෙරුණු “ විද්‍යා 2017 ” විද්‍යා හා තාක්ෂණ අධ්‍යාපනික ප්‍රදර්ශනය කැළණිය විශ්ව විද්‍යාලයීය විද්‍යා පීඨ පරිශ්‍රයේදී ආරම්භ විය.

අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එච්.එම්.බී.සී.හේරත් සහ විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ඩී.එම්. සේමසිංහ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ප්‍රදර්ශනය විවෘත කෙරුණි.

කැළණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීඨයට වසර 50ක් සපිරීම නිමිති කරගෙන පැවැත්වෙන ප්‍රදර්ශනයේ අරමුණ ශ්‍රී ලාංකේය සමාජය තුළ විද්‍යාව හා තාක්ෂණය ප්‍රචලිත කිරීමයි. විද්‍යා අංශයෙන් ඉදිරියට යන්නේ කෙසේද, ඒ සඳහා උනන්දු විය යුත්තේ කුමන ආකාරයෙන්ද ආදියට අවශ්‍ය මගපෙන්වීම විද්‍යා – 2017 තුළින් ලබාදීමට නියමිතය.

මෙරට විද්‍යා අධ්‍යාපනය සඳහා යොමුවන ශිෂ්‍ය පිරිස වැඩිකරගැනීම කාලීන අවශ්‍යතාවක් වී ඇත. එම අවශ්‍යතාව සපුරා ගැනිමද මෙම ප්‍රදර්ශනයේ බලාපොරොත්තුවක් වී ඇත.

විද්‍යා පීඨය නියෝජනය කරන සියළු අධ්‍යනාංශවල නවෝත්පාදනයන්, නිර්මාණ, විශේෂ ඉදිරිපත් කිරීම්, නව සොයා ගැනීම් මෙන්ම විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයට අනුබද්ධ ආයතනයන්හි නව සොයාගැනීම් සහ සේවාවන් පිළිඹිබු කරන ප්‍රදර්ශන කුටි වලින් ප්‍රදර්ශනය සමන්විත වේ.

ඊට අමතරව විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්‍රයට අවධානය යොමු කරවන විද්‍යාත්මක මැජික් සංදර්ශන, රොබෝ සංදර්ශන, විෂයානුබද්ධ ක්‍රීඩා, ශ්‍රව්‍ය දෘශ්‍ය පටිගත කිරීම්, විද්‍යාත්මක චිත්‍රපට, පෝස්ටර් තරඟ ආදිය හරහා දැනුම සහ විනෝදය ලබා දීමේ අංග රාශියක්ද ප්‍රදර්ශනයට ඇතුළත් වේ.

ප්‍රදර්ශනය ඔක්තෝම්බර් 02 වන දින සිට 07 වනදා දක්වා මහජන ප්‍රදර්ශනයට විවර වේ.

අනාගත ලෝකයේ පදනම වන විද්‍යාව හා තාක්ෂණයේ සංකල්පය, ඒ මත ගොඩ නැඟුණු නව නිර්මාණ, පර්යේෂණ හරහා සමාජගත වන නව දැනුම සහ සොයාගැනීම්, නවෝත්පාදනයන් පිළිබඳව දැනුම අවබෝධය ලබා දෙන විද්‍යා – 2017 අධ්‍යාපනික ප්‍රදර්ශනය සමඟ එක්වීමට ශ්‍රී ලාංකීය විශ්වවිද්‍යාල වල හා උසස් අධ්‍යාපන ආයතන වල විද්‍යාර්ථීන්ට, පාසල් සිසුන්ට හා මහජනතාවට කැළණිය විශ්ව විද්‍යාලය හා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය ආරාධනා කර සිටී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

15 + nineteen =