මා පිටුපසින් සිටි සියලු දෙනාට ස්තුතියි – රංගන හේරත්

(කොළඹ, ලංකාපුවත්) – පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සමග අබුඩාබි අගනුවර පැවති පළමු ටෙස්ට් තරගයේ දී සිය හාරසිය වෙනි ටෙස්ට් කඩුල්ල දවා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක රංගන හේරත් සමත් විය.
ඒ අනුව ටෙස්ට් කඩුලු 400 දවා ගත් ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා ලෙස ඔහු වාර්තා පොතට එක් වේ.
තරග දෙකකින් යුත් ටෙස්ට් තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 21 තියුණු ජයක් ලැබීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සමත් වූහ.

තිස් නව හැවිරිදි රංගන හේරත් දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් පළමු ඉනිම තුළ කඩුලු 05 ද දෙවන ඉනිම තුළ කඩුලු 06 ද දවා ගැනීමට සමත් විය.

“මාගේ දෙමව්පියන්, කණ්ඩායම සහ සහාය කාර්ය මණ්ඩලය යන මා පිටුපසින් සිටි සියලු දෙනාට මෙහි ගෞරවය හිමි විය යුතුයි” යනුවෙන් සිය ක්‍රීඩා දිවියේ ලද විශේෂ කඩයිම පිළිබඳ අදහස් දක්වමින් රංගන හේරත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *