රජයේ රෝහල්වල ශල්‍යාගාර පැය 24 පුරාම ක්‍රියාත්මක කිරීමට වැඩපිළිවෙළක්

(කොළඹ, ලංකාපුවත්) – රජයේ රෝහල්වල ශල්‍යාගාරත් පැය 24 පුරාම ක්‍රියාත්මක වන ආකාරයේ වැඩපිළිවෙළකට අවධානය යොමු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අක්ෂි ශල්‍ය විශේෂඥ වෘත්තිකයන්ගේ 27වන විද්වත් සමුළුව අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

එහිදී අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ,

“රජයේ රෝහල්වල ශල්‍යාගාර ක්‍රියාත්මක වන්නේ උදෑසන අටේ සිට පස්වරු හතර දක්වා පමණයි. එහෙත් පෞද්ගලික රෝහල්වල පැය විසිහතර පුරාම ඒවා ක්‍රියාත්මකයි. රජයේ රෝහල්වල වගේම පෞද්ගලික රෝහල්වල ඇති ශල්‍යාගාර උපකරණවල වගකීම් කාලය අවුරුදු දෙකක්. එහෙත් රජයේ රෝහල්වල එම උපකරණ ක්‍රියාත්මක වන ආකාරයට ඒවායින් නිසි ප්‍රයෝජන ලබා ගන්නේ වසරක් වැනි කාලයකටයි. මේ නිසා විශේෂඥ වෛද්‍යවරුන්ගේ අවධානය මේ සම්බන්ධයෙන් යොමු කරලා ඔවුන්ගේ දෛනික සේවා අවසන් වීමෙන් පසු යළි රෝහල්වල සේවය සැපයීමට අවධානය යොමු කිරීමට කටයුතු කිරීමට සළකා බලන ලෙස ඉල්ලීමක් කරනවා. මම සූදානම් ඒ වෙනුවෙන් සාධාරණ දීමනාවක් ලබා දීමට. විශේෂයෙන් පෞද්ගලික රෝහල්වල සිදු කරන ගෙවීමවලට සමාන දීමනාවක් ලබා දීමට සළකා බැලිය හැකියි. වෛද්‍යවරුන්ට පමණක් නෙවෙයි අනෙකුත් කාර්ය මණ්ඩලයටත් ඒ සදහා දීමනා ලබා දීමට කටයුතු කරනවා. “ යනුවෙනි.

සම්මේලනය කොළඹ දී පැවැත්වුණි.

මෙම සමුළුවේ ප්‍රධාන අමුත්තන් ලෙස සහභාගී වුයේ සිංගප්පූරුවේ අක්ෂි ශල්‍ය පර්යේෂණ ආයතනයේ මහාචාර්ය ඩෑන් මිලියා සහ බ්‍රිතාන්‍යයේ ක්‍රිස්ටෝපර් ගෝමන් යන මහත්වරුන්ය.

මෙම සමුළුවේදී අක්ෂි ශල්‍ය විශේෂඥවරුන් වන වෛද්‍ය බිනර අමරසිංහ, වෛද්‍ය තිස්ස සේනාරත්න සහ විද්‍යාජෝති මහාචාර්ය රොහාන් ජයසේකර සම්මානයට පාත්‍ර විය.

අක්ෂි විශේෂඥ වෛද්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මධුවන්ති දිසානායක, විශේෂඥ වෛද්‍ය කේ. ඒ. සැල්වින් යන මහත්ම මහත්මීන් ඇතුලු අක්ෂි ශල්‍ය විශේෂඥ වෘත්තිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

4 × 2 =