ලාස් වේගාස් ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්ත ක්‍රියාවක් නොවෙයි – විමර්ශකයෝ කියති

(කොළඹ, ලංකාපුවත්) – පුද්ගලයින් 59 දෙනෙකුට මරු කැඳවමින් අමෙරිකාවේ ලාස් වේගාස් නුවර සංගීත සැණකෙළියකට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර ත්‍රස්ත ජාලය සමග සබඳතාවක් නොමැති බව විමර්ශකයෝ පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඊයේ (02) අලුයම මෙම සංගීත සැණකෙළියට එල්ල වූ ප්‍රහාරයෙන් මේ වන විට පුද්ගලයින් 59 දෙනෙකු මිය ගොස් තවත් 527 දෙනෙකු තුවාල ලබා තිබේ.

ප්‍රහාරයට සම්බන්ධ සැකකරු ලාස් වේගාස්හි පදිංචිකරුවෙකු වන 64 හැවිරිදි ස්ටෙෆන් පැඩොක් නමැත්තෙකු බවට අනාවරණය වී ඇත. ඔහුට සහය වීම සඳහා මාර්ලෝ ඩැන්ලී නැමැති ආසියානු කාන්තාවක ද එම ස්ථානයට පැමිණ ඇතැයි වාර්තාවේ.

ලාස් වේගාස් පොලීසිය පවසන්නේ, වෙඩික්කරු ප්‍ර‍සංග භූමිය ආසන්නයේ පිහිටි මැන්ඩලේ බීච් හෝටලයේ 32 වන මහලේ සඳළු තලයේ සිට මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය.

ඒ වන විට ප්‍රසංග භූමියේ රැඳී සිටි පිරිස 22,000කට අධික ය.

ප්‍රහාරයෙන් අනතුරුව පොලීසිය සැකකරු සිටි හෝටල් කාමරය වැටලූ අවස්ථාවේ ඔහු සියදිවි හානි කරගෙන තිබේ.

ඔහු සිටි හෝටල් කාමරය තුළ තිබී ගිනිඅවි 10ක් ද සොයාගෙන ඇති බවද සදහන් වේ.

මෙම ප්‍රහාරය අතිශය අමානුෂික ක්‍රියාවක් බව ධවල මන්ධිරයේ සිට ප්‍රකාශයක් කරමින් අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටියේ ය. හෙට දිනයේ තමා ලාස් වේගාස්හි සංචාරය කිරීමට නියමිත බව ද ජනපති ට්‍රම්ප් ප්‍රකාශ කළේ ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *