පන්ති වර්ජනය අතහරින්න ලෙසට උසස් අධ්‍යාපන ඇමති වෛද්‍ය සිසුන්ගෙන් ඉල්ලයි

(කොළඹ, ලංකාපුවත්) –සයිටම් ගැටලුව විසඳීමට රජය යහපත් පසුබිමක් සකස්කර තිබියදීත් අධ්‍යාපන කටයුතු අඩාලකර ගනිමින් වෛද්‍ය පීඨ සිසුන් පන්ති වර්ජනයක යෙදීම සුදුසු නැති බව උසස් අධ්‍යාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

වෛද්‍යවරයෙකුගේ අධ්‍යාපන කටයුතු සඳහා රජය වාර්ෂිකව රුපියල් මිලියනයකට වැඩි මුදලක් වැයකරනවා. ඒ සඳහා සියලු ජනතාවගේ දායකත්වය හිමිවන බවද අමාත්‍යවරයා නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරනු ලැබේ.

රජයේ විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ සිසුන් දැනට මාස කිහිපයක සිට පන්ති වර්ජනයක නිරතව සිටි. පෞද්ගලික විශ්වවිද්‍යාල අර්බුදය විසදීම සදහා රජය විවිධ ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පෙන්වා දෙයි. ඒ යටතේ වෛද්‍ය පීඨාධිපතිවරුන්ගේ එකඟතාව මත විසඳුම් කිහිපයක් ඉදිරිපත් කෙරුණි.

සිසුන්ගේ සහ අදාල පාර්ශ්ව ඊට එකඟ නොවීම හේතුවෙන් ජනාධිපතිතුමාගේ මැදිහත්වීම මත පත්කළ කමිටුවක් ද විසඳුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

සයිටම් ආයතනයට නවක සිසුන් බඳවාගැනීම තාවකාලිකව අත්හිටුවා ඇති බවද අමාත්‍යවරයා එම නිවේදනයේ සඳහන් කර ඇත. නෙවිල් ප්‍රනාන්දු රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයේ කළමනාකාරීත්වය යටතට පත්කිරීම, වෛද්‍ය අධ්‍යාපනය සම්බන්ධ අවම ප්‍රමිතීන් ගැසට් කිරීම, සියලුම උසස් අධ්‍යාපන කටයුතු සම්බන්ධ උපාධීන් පිළිගැනීම හා ප්‍රමිතීන් පවත්වාගෙන යාම සඳහා නව ආයතනයක් පිහිටුවීම යන ක්‍රියාමාර්ග ද ගෙන ඇති බව එහි සඳහන් ය.

සයිටම් ආයතනය මගින් පිරිනමන වෛද්‍ය උපාධිය වෘත්තීමය කටයුතු සඳහා පිළිගැනීම සම්බන්ධයෙන් වන අධිකරණ කටයුත්තක් ද ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාගවෙමින් පවති. එවන් පසුබිමක් තුළ වෛද්‍ය පීඨ සිසුන් දිගින් දිගටම පන්ති වර්ජනයක නිරතවීම ඔවුන්ටද සිදු කර ගන්නා අයහපතක් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සිහිපත් කර සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 + eighteen =